බෙත්ලෙහෙමෙහි විසූ එඬේරකු වූ ජෙස්සේ නම් ඉශ්රායෙලිතයාට පුතුන් අට දෙනකු විය. ඉන් බාලයා වූ දාවිත් බාල වයසේ පටන් පියාගේ බැටළුවන් රැක බලා ගැනීමට පුරුදු ව සිටියේ ය. දෙවිඳුන්ට ප්රේම කළ මේ දරුවා එඬේරකු ලෙස තැනිතලාවල කාලය ගත කරන විට නිතර ම අවදියෙන් සිටිමින් තම බැටළුවන් වන සතුන්ගෙන් බේරා ගැනීමට වග බලා ගත්තේ ය. දාවිත් වයසින් වැඩෙත් ම දෙවියන් වහන්සේගේ ආදරය ඔහු අත්දුටුවේ අත්දැකීම්වලිනි. ඒ බැටළුවන් රැක බලා ගැනීමට රුදුරු මෘගයන් හා පොර බැදීමට සිදු වූ කටුක අවස්ථාවල දී ය. තමාට තිබූ ගල් පටියෙන් ඉලක්ක කොට විදීමට ඔහු හපනෙක් විය. වීණා වාදනයට ද දක්ෂයෙක් විය. ඔහු දෙවිඳුන් තුළ ප්රබල විශ්වාසයක් තිබූ දේව ගරු බිය ඇත්තකු විය.
ජෙස්සේගේ පුතුන් තිදෙනකු සාවුල් රජුගේ හමුදා සේවයේ යෙදී සිටිය හ. දිනක් තම පුතුන් ගැන තොරතුරු දැන ගැනීමට ජෙස්සේ, දාවිත් පුතු ව පිටත් කර යැවී ය. එම ස්ථානයට පැමිණි විට ලත් ආරංචිය හා සිදු වූ සියල්ල දාවිත් දුටුවේ ය. ඉශ්රායෙල් ජනතාවට නිතරම විරෝධය පෑ පිලිස්තිවරුන්ගේ සේනා, ඒලා මිටියාවතේ කඳවුරු බැඳගෙන සටන් වැද සිටිය හ. සේනාවේ සිටි ගොලියත් නම් ගාම්භීර මල්ලවයා, ඉශ්රායෙල් ජනතාවට නින්දිත ලෙස අභියෝග කරමින් දාවිත් ඇදහූ දෙවිඳුන්ට පවා අපහාස කරමින් පෙරමුණට ආවේ ය. දාවිත්ට මෙය දරා ගත නොහැකි විය. දාවිත්, ගොලියත් මල්ලවයාට අභියෝග කිරීමට තීරණය කළේ ය. දාවිත් එහි සිටියවුන්ගෙන් ඇසූ ප්රශ්න හා පැවසූ වචන ඔවුහු සාවුල් රජුට දැන්වූහ.
සාවුල් රජ හා දාවිත් අතර ඇතිවූ දෙබස විමසා බලමු.
දාවිත්: රජතුමෙනි, කිසිවකු මේ පිලිස්තියයාට බිය විය යුතු නැත. ඔබේ මෙහෙකරුවා වන මම ගොස් මේ පිලිස්තියා සමග සටන් කරමි.
සාවුල්: මේ පිලිස්තියයාට විරුද්ධ ව ගොස් සටන් කරන්නට ඔබට බැරිය. මන්ද ඔබ කොළුගැටයෙකි. එහෙත් ඔහු තරුණ වයසේ පටන් හේවායෙකු ව සිටින්නෙකි.
දාවිත්: "ඔබේ මෙහෙකරුවා වන මා, මගේ පියාගේ බැටළුවන් බලාගෙන සිටිය දී සිංහයකු හෝ වලසකු හෝ අවුත් රැලෙන් බැටළුවකු ගත්තොත්, මම ඌ පස්සේ ගොස් ඌට පහර දී ඌගේ කටින් බැටළුවා ගලවා ගන්නෙමි. ඌ මට කඩාපැන්න විට මම ඌ බෙල්ලෙන් අල්ලා ඌට පහර දී විනාශ කරන්නෙමි. ඔබේ මෙහෙකරුවා වන මම සිංහයන් ද වලසුන් ද විනාශ කර ඇත්තෙමි. ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට නින්දා කළ මේ පිලිස්තියයාටත් මම එසේ කරමි........... (දැඩි විශ්වාසයෙන්)..... සිංහයාගේ නිය පහරින් ද වලසාගේ නිය පහරින් ද මා ගැලවූ සමිඳාණන් වහන්සේ මේ පිලිස්තියාගේ අතිනුත් මා ගලවන සේක."
මෙලෙස ගොලියත් ට එරෙහි ව අභියෝගය භාර ගත් දාවිත් ට සාවුල් රජතුමා, තමාගේ ඇඳුම් කට්ටලය ඇන්දවූ නමුත් ඒ නුහුරු පළඳනා ගලවා දමා ගොලියත් ඉදිරියට ගියේ තමාට සුපුරුදු සැරයටිය, ගල්පටිය හා දොලෙන් තෝරාගත් ගල් පහක් එඬේර මල්ලේ දමා ගෙන ය. ගොලියත්ගේ නින්දිත අපහාස ඉදිරියේ මුළු ඉශ්රායෙල් ජනතාව බියගුළු ව සිටිය ද දාවිත් නිර්භීත ව අභියෝගයට මුහුණ දුන්නේ ය. ඒ කෙසේ ද? දෙවියන් වහන්සේ කෙරෙහි තිබූ නොසෙල්වුණු විශ්වාසය නිසා ය. එම විශ්වාසයෙන් යුතු ව දාවිත් ගොලියත් ඉදිරියට පිවිසියේ ය.
පිලිස්තියේ මල්ලවයා ද ඉදිරියට ගමන් කරමින් දාවිත් ට දැඩි ලෙස අපහාස කළේය. තමන් අතින් සිදු වන දාවිත්ගේ විනාශය ගැන ද උදම් ඇනුවේ ය. ඒ මෙලෙස ය.
ගෝලියත්: තෝ සැරයටිය රැගෙන මා ලඟට එන්නේ මා බල්ලකු යයි සිතා ද? මා ලඟට වර, මම තාගේ මස් ආකාශයේ පක්ෂීන්ටත්, වනයේ මෘගයන්ටත් දෙන්නෙමි.
දාවිත්: තෝ කඩුවක් ද හෙල්ලයක් ද කුන්තයක් ද රැගෙන මා වෙත එන්නෙහි ය. මා තා වෙතට එන්නේ තා නින්දා කළ ඉශ්රායෙල් හමුදාවල සියලූ බලැති දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙනි. අද දින සමිඳාණන් වහන්සේ තා මා අතට පාවා දෙන සේක. මම තට ගසා, තාගේ හිස කපා දමා පිලිස්තිවරුන්ගේ මළකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ට ද පොළොවේ වන මෘගයන්ට ද දෙන්නෙමි. මෙසේ ඉශ්රායෙල් කෙරෙහි දෙවි කෙනකු සිටින බව පොළොවේ සියල්ලන් දැන ගනු ඇත. ජය ගැනීමට සමිඳාණන් වහන්සේට කඩුවක්වත්, හෙල්ලයක්වත් වුවමනා නැති බව මුළු සමුහයා දැනගනු ඇත."සටන සමිඳාණන් වහන්සේගේ ය. උන්වහන්සේ ඔබ අප අතට පාවා දෙන සේක."
දාවිත්ගේ වචන අසා ඔහුට මරු පහර දීමට පිලිස්තියයා ඉදිරියට පය තැබූ විට දාවිත් ගල් පටිය ගෙන නිවැරදි ඉලක්කය කරා සිනිඳු ගලකින් විද්දේ ය. උස මීටර් තුනක් පමණ වූ දැවැන්ත මල්ලවයාගේ නළල විදගෙන ගිය ගල ඔහු ව නිහඩ කළේ ය. මෙලෙස ගොලියත් විසින් ඉශ්රායෙල් ජාතියට කළ අවතක්සේරු ව ද දාවිත් ට කළ නින්දා අපහාස ද ඉශ්රායෙල් දෙවිඳුන්ට කළ ගැරහුම් ද නිමා විය.
අප ද බාල කාලයේ පටන් දෙවි පියාණන්ට ආදරය
කරමින් කීකරු ව උන්වහන්සේ තුළ විශ්වාසය වර්ධනය
කර ගත යුතු වේ. එවිට අපට නිර්භීත ව අභියෝග ජය ගත
සටනට අවශ්ය සියලූම ආයුධවලින් සන්නද්ධ ව සිටි යෝධ පිලිස්තියා මුළු ශක්තිය තැබුවේ තමා කෙරෙහි ය. දාවිත් බාහිර ආවරණ ඉවතලා එඩේර ආම්පන්න අතැති ව සර්ව බලධාරී දෙවිඳුන් කෙරෙහි විශ්වාසය තැබුවේ ය.
අප කොතරම් දුර්වල වුවත් දෙවිඳුන් කෙරෙහි
විශ්වාසය තැබීමෙන් ශරීර ශක්තීන් අභිබවා යන දේව
ශක්තිය නොඅඩුව ලැබේ.
ගොලියත්ට අවශ්ය වූයේ තමාගේ බල පුළුවන්කාරකම් ප්රදර්ශනය කර ජනප්රියත්වයෙන් නැගී සිටීමට ය. දාවිත් සැක රහිත ව පූර්ණ බලාපොරොත්තුව තැබුවේ දේව ගරුබිය ඇතිව දේව නාමය ගෞරවයට පත් කිරීම ය.
දෙවියන් වහන්සේ අපට දී ඇති දීමනා වර්ධනය කර
ගනිමින් උන්වහන්සේට සියලූ ගෞරවය හා ප්රශංසාව
පිදිය යුතු වේ.
ගොලියත්ගේ සටනේ අරමුණ වූයේ ජීවිත විනාශය යි. දාවිත් අභියෝගයට මුහුණ දුන්නේ ජීවිත රැක ගැනීමට යි.
අප ද ජීවිත නගා සිටුවීමට, බිය නැති කිරීමට, සහනය
ලබා දීමට ඉදිරිපත් විය යුතු වේ. එලෙස ඉදිරිපත් වන
විට දෙවිඳුන්ගේ අනුග්රහය අපට ලැබෙනු ඇත. නපුරු
බලවේග ජය ගැනීමට දෙවියන් වහන්සේගේ පිහිට හා
මග පෙන්වීම සෙවිය යුතු වේ.
දාවිත් නපුර පරාජය කිරීමට දෙවිඳුන්ගේ බලය තුළ රැඳී සිටියේ ය.
දේව දරුවකු වන ඔබගෙන් දෙවියන්වහන්සේට ඉටු කර ගැනීමට අරමුණක් ඇත. ඒ සඳහා විවිධ දීමනා උන්වහන්සේ ඔබට දායාද කර ඇත. ඒවා වර්ධනය කරගෙන එඩිතර ව නිර්භීත ව උන්වහන්සේට කීකරු ව ජීවත් වන්න.