ඈත අතීතයේ දඹදිව බරණැස් නම් නුවරක් විය. එක් කලෙක එහි රජ කළේ බ්රහ්මදත්ත නම් රජ කෙනෙකි. එකල බොහෝ සම්පත් ඇති පින්වත් සිටුවරයෙක් විය. ඔහුට ඉතා බුද්ධිමත් පුතෙක් සිටියේ ය. හෙතෙම ඉගෙනීමට මහත් උනන්දුවක් ඇත්තෙකි. එම දරුවාගේ ඉතා වැදගත් ලක්ෂණයක් විය. එනම් තමා නො දන්නා දෙය ගුරු දෙගුරුන්ගෙන් හා වෙනත් වැඩිහිටියන්ගෙන් අසා දැන ගැනීමයි. ඔහු නිතර ම විමසුවේ දැන ගත යුතු වැදගත් කරුණු ගැනයි. දිනක් හෙතෙම තම පියාගෙන් මෙසේ ඇසී ය.
"පියාණෙනි, මා බොහොම කැමැතියි දියුණුවීම සඳහා වුවමනා කරන කරුණු දැන ගන්න. කරුණාකර ඒවා මොනවා දැයි කියා දෙන්න පුළුවන් ද?"
දරුවකු යමක් ඇසූ විට බොහොම සැලකිල්ලෙන් පිළිතුරු දීම බුද්ධිමත් මවුපියන්ගේ ගතියකි. එබැවින් එම පියා ඉතා හොඳින් සිතා බලා පුතාට අගනා පිළිතුරක් දුන්නේ ය. දියුණු වීම සඳහා ප්රධාන දොරටු හයක් ඇති බව හෙතෙම පැවසී ය. දියුණු වීමේ දොරටු නම් දියුණු වීම සඳහා අවශ්ය කරුණු ය. පියා පුතාට කියා දුන් එම කරුණු සය මෙසේ ය.
අප ගිලන් වූ විට පාඩම් කළ නොහැකි ය. වෙනත් වැඩක යෙදීම ද අපහසු ය. කොපමණ සම්පත් තිබුණත් ඒවායින් නිසි ප්රයෝජන ගත නොහැකි ය. අලූතින් යමක් උපයා ගැනීමට ද හැකි නොවේ. පින් දහම් ආදී හොඳ වැඩ කිරීම ද අපහසු ය. එසේ වූ විට දියුණුවක් ඇති නොවේ. නීරෝගී බව (ආරෝග්ය) දියුණුවට අවශ්ය ප්රධාන කරුණක් ලෙස දැක්වූයේ එබැවිනි.
අප ජීවත් වන්නේ තනිය ම නොවේ, පිරිසක් සමග ය. සමාජයක ජීවත් වන විට අප කරන කියන දේ ඒ සමාජයට ද බලපායි. එබැවින් කථා කිරීමේ දී හා වැඩ කිරීමේ දී පරිස්සම් විය යුතු ය. සිතට එන හැම දෙයක් ම කීම හෝ කිරීම සුදුසු නැත. සමාජයේ ඇති හොඳ සිරිත් හඳුනා ගෙන ඒවාට ගරු කිරීමට සිදු වෙයි. පන්සල, පාසල වැනි තැන්වල හැසිරෙන ආකාරය ඒ ඒ තැන්වලට සුදුසු විය යුතුයි. ඒවා දැනගෙන ලජ්ජා භය ඇති ව ජීවත්වීම දියුණුවට හේතු වෙයි. එබැවින් ශීලාචාරකම (සීලං) දියුණුවේ දොරටුවක් ලෙස දක්වා ඇත.
කළ යුතු නොකළ යුතු දේ ගැන කුඩා අයට වඩා වැඩි දැනීමක් වැඩිහිටි අයට ඇත. ගුණ නුවණින් හා වයසින් වැඩි අය අප අතර සිටිති. ඇතැම් වැඩිහිටියන් පොතපත ඉගෙනීමෙන් දැනුම ලබාගෙන ඇත. ඇතැම් අයට සමාජයේ ජීවත්වීමෙන් ලැබුණු දැනුමක් ඇත. ඒ අයගේ උපදෙස් ලබා ගැනීම ප්රයෝජනවත් ය. විශේෂයෙන් අපේ ළඟ ම වැඩිහිටියන් වන මවුපියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් අප ඉගෙන ගත යුතු දේ ඇත. අප කරන වැඩ එබඳු වැඩිහිටියන්ගේ උපදෙස් හා අනුමැතිය ද (වුද්ධානුමතං) ඇතිව කළ යුතු ය. එසේ කිරීම දියුණුවට උපකාර වේ.
ඉගෙනීමෙන් තොර ව ද දියුණු විය නොහැකි ය. දිනපතා පාසලෙන්, දහම් පාසලෙන්, පොත පත කියවීමෙන්, බණ ඇසීම ආදියෙන් අපි දැනුම ලබා ගනිමු. එය දියුණු වීමට උපකාර වේ. එම නිසා බහුශ්රැතකම හෙවත් හොඳට ඉගෙන ගෙන තිබීම (සුතං) දියුණුවට අවශ්ය ප්රධාන කාරණයකි.
මිල මුදල් තිබුණු පමණින් කෙනෙකු දියුණු පුද්ගලයෙක් නොවේ. ගුණ ධර්ම ද ඔහු තුළ තිබිය යුතු ය. සතුන් මැරීම, සොරකම් කිරීම, දුම්බීම, සුරාපානය ආදී දුසිරිත්වලට පුරුදු වූ තැනැත්තාට පිරිහීමක් මිස දියුණුවක් නොවේ. එබැවින් දැහැමි ව ජීවත්වීම (ධම්මානූවත්තී) දියුණුවේ දොරටුවක් ලෙස දැක්වෙයි.
කම්මැලි වුව හොත් පාඩම් කළ නොහැකි ය. ගොවිතැන් වෙළෙඳාම් ආදිය ද කළ හැකි නොවේ. සිල් රැකීම, භාවනා කිරීම් ආදියට ද කම්මැලිකම බාධාවකි. එනිසා කම්මැලි නැතිකම (අලීනතා) හෙවත් අලීනතාව දියුණුවට අවශ්ය ම දෙයකි.
තම පියාගෙන් මෙම කරුණු දැනගත් දරුවා කුඩා කල සිට ම ඒ අනුව කටයුතු කළේ ය. ඒ නිසා සැප සම්පත්වලින් මෙන් ම ගුණ නුවණින් ද දියුණු පුද්ගලයෙක් විය. එසේ දියුණු වීමට හැකි වූයේ කරුණු දැන ගැනීමෙන් පමණක් නොනැවතී නීරෝගකම ආදිය ඇති වන ලෙස කටයුතු කළ බැවිනි.
මෙය පන්සිය පනස් ජාතක පොතෙහි එන එක් කථා වස්තුවකි. එය අත්ථස්සද්වාර ජාතකයයි. අත්ථස්සද්වාර යන්නෙහි තේරුම දියුණුවේ දොරටු යන්නයි. එදා බුද්ධිමත් පියා ලෙස උපත ලබා සිටියේ අප මහ බෝසතාණන් වහන්සේ ය.
අපිත් කුඩා කල සිට ම නොදන්නා දේ දන්නා අයගෙන් අසා දැන ගැනීමට පුරුදු වෙමු. හොඳ සෞඛ්ය පුරුදු ඇති කර ගෙන නීරෝගකම රැක ගනිමු. ලජ්ජා භය ඇති ව ශීලාචාර ලෙස ජීවත් වෙමු. වැඩිහිටියන්ගේ වැදගත් උපදෙස් පිළිගනිමු. ඒ අයගේ අනුමතය ඇති ව ම කටයුතු කිරීමට උත්සාහ කරමු. සතුන් මැරීම සොරකම් කිරීම වැනි නපුරු ගතිවලිනුත් දුම්බීම වැනි දුසිරිත්වලිනුත් වෙන් වෙමු. අලස නොවී මහන්සියෙන් හොඳට ඉගෙන ගනිමු. එවිට අපට ද දියුණුවේ රන් දොරටු ඇරෙනු ඇත.