14 - වෙනස් වීමට ඔරොත්තු දෙමු

එදින පුර පසළොස්වක පොහොය දිනයකි. මම උදෑසන ම පිබිදුණෙමි. හිමිදිරිය ඉතා ප්‍රබෝධවත් ය. කුරුල්ලන්ගේ කිචිබිචි නාදය දසත පැතිරේ. විවර කළ ජනෙල් පියන් අතුරින් ළා හිරු කිරණ මා නිදා සිටි කාමරයට ඇදී ආවේ ගතට මෙන් ම සිතට ද ප්‍රබෝධය වැඩි කරමිනි. මම ඇඳෙන් නැඟිට මුව සේදීමට ගෙමිදුලට ගියෙමි. මා දුටුවේ සුන්දර දසුනකි. නිවස ඉදිරිපස ඇති වතුසුද්ද ගස මලින් පිරී තිබිණ. අලූයම ඇද හැළී තිබූ පොද වැස්සෙන් ගස්වැල් අමුතු ප්‍රබෝධයකින් පිරී ඇත. සිසිල් සුළඟ ද හමා එයි. පාසල් නිවාඩු දිනයක් වූ මෙදින පරිසරයේ මා දුටුවේ අපූරු සුන්දරත්වයකි. අම්මා සාදා දුන් තේ කෝප්පය රැගෙන මම සාලයට ගියෙමි. සීයා රූපවාහිනියේ විකාශනය වූ ධම්මචින්තා වැඩසටහනක් නරඹමින් සිටියේ ය.

එම දෙසුමෙහි පෙන්වා දුන්නේ වෙනස් වීමට මුහුණ දෙන්නේ කෙසේ ද යන්නයි. මම ද එම දේශනාවට ආශාවෙන් සවන් දුනිමි.

"පින්වතුනි, බුදු දහමේ ඉතා ම වැදගත් ඉගැන්වීමක් තමයි අනිත්‍යතාව කියල කියන්නෙ. එහි තේරුම ලෝකයේ පණ ඇති සහ පණ නැති සියල්ල සෑම මොහොතක ම වෙනස් වෙනවා කියන එක. පරිසරය දිහා බැලූවම මේ කතාව හොඳින් තේරුම් ගන්න පුළුවන්. පිපුණු මල් පර වෙනවා. සුදු වලාකුළු තිබෙන අහස වහින්න ආසන්න වෙන කොට කළු වලාකුළුවලින් පිරිල යනවා. දහවල පායල තියෙන ඉර, අහසේ එක ම තැන තියෙන්නෙ නැතුව බැහැල යනවා. දැන් බලන්න ළදරුවා ටිකෙන් ටික ළමයෙක් වෙනවා, තරුණයෙක් වෙනවා, ඊළඟට වැඩිහිටියෙක් වෙලා අන්තිමට මහල්ලෙක් වෙනවා. ළදරුවාගේ සිට මහල්ලා දක්වා ඇති වෙන මෙම වෙනසට ලෝකෙ කවුරුවත් කැමැති නෑ. ඒ වුණාට වෙනස් වීමෙන් මිදෙන්න ලෝකෙ කිසි කෙනෙකුට හැකියාවක් නෑ. ඒක ස්වභාව ධර්මයක්."

මම එකවරම සීයාගේ මුහුණ දෙස බැලීමි. සීයාගේ මුහුණෙහි හිමිදිරියේ මා දුටු ප්‍රබෝධය දක්නට නොලැබුණි. සීයා ද වයසට ගොස් ඇත්තේ ළදරු, ළමා, තරුණ අවධි පසු කොට බව මට සිතුණි. මම දේශනයට දිගට ම සවන් දුනිමි.

"පින්වතුනි, සමහර දේවල් වෙනස් වෙනවට අප කැමැතියි. උදාහරණයක් විදියට ඔබ රෝගාතුර ව සිට සනීප වෙනව කියල හිතන්න. එවිට දැනෙන්නේ සතුටක්. හේතුව, ඒ වෙනස සිද්ධ වුණේ අපි බලාපොරොත්තු වුණ ආකාරයට නිසා. ඒත් ලෝකෙ ගොඩාක් දේවල් තියෙනවා වෙනස් වෙනවට අප අකැමැති. උදාහරණ විදියට හිතුවොත් අප නීරෝගී ව ඉඳල ලෙඩ වුණොත් දුක් වෙනවා. මොකද අප කවුරුවත් ලෙඩ දුක්වලට මුහුණ දෙන්න අකැමැති නිසා. සමත් වේ යැයි බලාපොරොත්තු වන විභාගයක් අසමත් වුණා ම දුක් වෙන්නේ අසමත් වීම නමැති වෙනස දරා ගන්න බැරි නිසා."

ධර්ම දේශක ස්වාමීන් වහන්සේ එහෙම දේශනා කළා ම මට මතක් වුණේ පසුගිය වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය සමත් වීමට ලකුණු කිහිපයක් අඩු වීම නිසා මං කොච්චර දුක් වුණා ද කියල. විභාගෙ ලකුණු අඩු වුණා කියල එදා දුක් වුණාට අද මට එහෙම දුකක් නෑ. ගිය අවුරුද්දෙ පහ ශ්‍රේණියෙ හිටියට මේ අවුරුද්ද වෙන කොට මං හය ශ්‍රේණියට සමත් වෙලා. පාවිච්චි කරපු ඇඳුම පැළඳුම, පොතපතේ ඉඳල බොහෝ දේවල් හය ශ්‍රේණිය වෙනකොට වෙනස් වෙලා කියල මට හිතුණෙ ඒ වෙලාවෙ.

ස්වාමීන් වහන්සේගේ දේශනයට මම දිගට ම සවන් දුනිමි.

"ඔබේ ජීවිතය ගැන හිතල බලන්න. එක් එක් අවස්ථාවල දී විවිධ වෙනස්වීම්වලට මුහුණ දීමට සිදු වෙනවා. පුළුවන් හැම වෙලාවෙ ම වෙනස් වීම් අපේ යහපතට ගැළපෙන විදියට හරවා ගන්න කවුරුත් හිතට ගන්න ඕන. උදාහරණයක් විදියට කියනව නම් වයසට යන එක අපට නතර කරන්න බැරි වුණත්, ඒ වයස යෑමත් සමඟ මහන්සි වෙලා ඉගෙන ගත්තොත් අපේ අනාගත ජීවිතය සාර්ථක කර ගන්න පුළුවන්. ලෙඩ වෙනවට අකැමැති නිසා නීරෝගී ව ඉන්න උත්සාහ කරන්න අපට පුළුවන්. මේ සියලූ කරුණුවලින් අපට ඉගෙන ගන්න වටිනා පාඩමක් තියෙනවා. එය තමයි කුඩා කාලයේ ඉඳල ම වෙනස් වීමට ඔරොත්තු දීමේ හැකියාව ඇති කර ගන්න ඕන කියන එක."

ධම්මචින්තා වැඩසටහන නිමා විය. ක්‍රමයෙන් හිමිදිරිය දහවල බවට වෙනස් වී ගියේ ය. හිමිදිරි පරිසරයේ මා දුටු ප්‍රබෝධය දහවල එලෙසින් දක්නට නොතිබුණි. ඉඳ හිට කුරුලූ හඬ ඇසුණ ද උදෑසන මෙන් එහි ගීතවත් බවක් නොදැනුණි. මම මිදුලට පැමිණියෙමි. වතුසුද්ද ගසෙහි මල් කිසිවකු විසින් නෙළාගනු ලැබ තිබුණි. උදෑසන පිපී තිබුණු මල් කිහිපයක් මිලිනව ගස අවට බිම, වියළුණු කොළ අතරට එක් වී තිබිණි. උදෑසන ළහිරු කිරණින් ගතට දැනුණු සුවය දහවල වන විට ඒ අයුරින් විඳගත නොහැකි විය. මා සිත් ගත් පරිසරය දහවල වන විට වෙනස් වී ඇත. ඒ සමග ම වෙනස්වීම පිළිබඳ ස්වාමීන් වහන්සේ ලබා දුන් උපදේශය මසිතට නැගුණි.

වෙනස්වීම සොබාදහමක් බවත් එයින් අධික දුකට හෝ සතුටට හෝ පත්වීම අපගේ ම අයහපතට හේතු වන බවත් මම තේරුම් ගතිමි.