අප අවට පරිසරයේ විවිධ සත්තු ජීවත් වෙති. ඔවුන්ගේ බාහිර පෙනුම, ජීවන රටා ආදි තොරතුරු දැන ගැනීමට විද්යාත්මක පත පොත කියවිය යුතු ය. සිංහලෙන් එබඳු පොත් ලිවීමට පුරෝගාමී වූ මාර්ටින් වික්රමසිංහ මහතාගේ ‘විද්යා විනෝද කතා’ පෙළෙන් උපුටා ගත් කතාවක් මෙහි දැක්වේ.
මිත්රයෝ දෙදෙනෙක් කැලෑවක් මැදින් ගමන් කළෝ ය. කැලෑව මැදට පැමිණි ඔවුහු වලසකු දුටුවෝ ය. එකෙක් වහ වහා ගසකට නැංගේ ය. අනෙකාට ගසට නැඟ ගන්ට බැරි විය. ඔහු පණ බේරා ගත්තේ උපායකිනි. ඔහු බිම දිග ඇදී මළ මිනිහකු මෙන් කිසි ම හැලහොල්මනක් නැතිව සිටියේ ය. වලසා ඔහුට ළං වී බලා ඒ මළ කෙඳකැයි සිතා කිසිවක් නො කොට ආපසු ගියේ ය.
අන්තරායෙන් ගැලවීමට මෙබඳු උපාය යොදන්නේ මනුෂ්යයා පමණක් නො වේ. බොහෝ සත්තු ද අන්තරාය වැළැක්වීමට උපාය යොදති. සතුරන්ගෙන් බේරීමට කුරුමිණි සතුන් යොදන උපාය ඇසුවොත් ළමයින් පමණක් නො ව සමහර විට වැඩිහිටියෝ ද කම්මුල්වල අත් ගසා ගෙන පුදුමය ප්රකාශ කරති.
ගහේ ඉතිවල එල්ලෙමින් තිබෙන විට කොළ සුළඟින් සෙලවේ; බිම වැටුණු විටත් සමහර විට සුළඟින් කොළ සෙලවේ. එසේ වුව ද ඇවිදින, කෑම කන, බිත්තර දමන කොළයක් දකින්ට ලැබුණොත් පුදුම නො වන ළමයෙක් සිටිත් ද?
මෙහි ලංකාවේ සතකුගේ ද උගේ බිත්තරවල ද ඡායාරූප වෙයි. ඌ කොළයකට සමාන ය. ඌට ‘කොළයා’යි කියන්නේ එහෙයිනි. අතට ගෙන බැලූවකුට පවා මූ කොළයක් නො ව සතෙකැයි කිව නො හැකි ය. කුමක් නිසා ද? හැඩහුරුකමිනුත් පාටිනුත් ඌ කොළයකට ම සමාන බැවිනි. හැම අතින් ම කොළයකට සමාන බැවින් බොහෝ දෙන මේ සතුන් කොළවලින් හට ගනිති යි විශ්වාස කරති. එය වැරදි විශ්වාසයකි. මේ සතුන් හට ගන්නේ කොළවලින් නොව බිත්තරවලිනි.
මේ සතා කොළයක හැඩහුරුකම ගන්නේ කුමට ද? මිනිසකු වලසාගෙන් බේරීමට මළ කඳක් මෙන් වූ හැටි මෙහි මුලින් කියා ඇත. කොළයා කොළයක හැඩහුරුකම ගැනීමට හේතුවත් මෙබඳු කරුණකි. එනම්, කුඩා සතුන් අල්ලා ගෙන කන කුරුල්ලන්ගෙන් ද වෙනත් සතුරන්ගෙන් ද බේරීම පිණිස ය.
කොළ හැළුණු ගසක් යට සිටින කොළයකු සෙවිල්ලෙන් බැලූවත් ඌ අපට වහා නො පෙනේ. කොළයක හැඩහුරුකමත් පාටත් ඇති ඌ අපේ පයකට පෑගෙන්ට පුළුවන. අපේ පයකට පෑගුණොත් සමහර විට ඌ මිය යන්නේ ය.
එසේ වුව හොත් කොළයක හැඩහුරුකම ගැනීම කොළයාගේ ආරක්ෂාවට නො ව විනාශයට හේතු වෙයි. කොළයා කොළයෙහි හැඩහුරුකම ගන්නේ මිනිසුන්ගෙන් බේරීමට නො වේ. මිනිස්සු උගේ සතුරෝ නො වෙති. පක්ෂීහු උගේ සතුරෝ ය. එබන්දන්ගෙන් බේරීමට කොළයාට කොළයේ හැඩහුරුකමත් පාටත් ඉතා ප්රයෝජනවත් ය.
පිහාටු හකුළා පිට මැද එක් කොට තබා ගෙන සිටින විට ඌ කොළයකට සමාන ය. පිහාටු දෙක එක් වන තැන කොළයෙහි මැද නාරටිය වැන්න. මැද නාරටියෙන් දෙපැත්තට ඇදුණු හීන් නාරටි වැනි නාරටි ද කොළයාගේ පිහාටුවල ඇත්තේ ය. ඇතැම් විට කොළයා ඉදුණු කොළයක පාටින් යුක්ත වෙයි. සමහර විටෙක නිල් කොළයක පාටින් යුක්ත වෙයි. කොළයා බිම සිටින විට කොළයක් ම වැන්න.
ඌ බිම බඩ ඇන ගෙන ම සිටින බැවිනි. ඌ ගමන් කරන්නේත් බඩ ගාන්නාක් මෙනි. මෙසේ හැම විදියෙන් ම කොළයක් බව පෙන්වීමට තැත් කරන මූ කොතරම් කපටි සතෙකු විය යුතු ද? කොළයා මේ කපටිකම් කරන්නේ පක්ෂීන්ගෙන් බේරීම පිණිස ය.
කොළයා අනෙක් කෘමි සතුන් මෙන් මස් කා ජීවත් වන්නෙක් නො වේ; කොළ කා ජීවත් වන්නෙකි. උගේ බිත්තර දැමීම ද අනෙක් කෘමි සතුන්ගේ බිත්තර දැමීමට වෙනස් ය. ඇතැම් කෘමි සත්තු වළවල් හාරා එහි බිත්තර දමති. සමහරු කොපුවක් සාදා එහි බිත්තර දමති. සමහරු ගසක කොළවල බිත්තර අලවති. සමහරු පැළෑටියක කඳ විද ඒ තුළ බිත්තර දමති. කොළයා කුරක්කන් වපුරන්නාක් මෙන් බිම බිත්තර දමයි. උගේ බිත්තර ද ඇට වර්ගයක් වැන්න. උගේ බිත්තරයක් අතට ගෙන බැලූවත් පෙනෙන්නේ කරිවිල ඇට වැනි ඇට වර්ගයක් ලෙසිනි.