පන්සියපනස් ජාතක පොත ලියැවුණේ කුරුණෑගල රාජධානි සමයේ දී ය. එය බුදුන් වහන්සේගේ පූර්ව ජන්ම පිළිබඳ කතා පුවත් සමූහයක් ලෙස සැලකේ. එයට මුල් වූ කතා ලියැවී ඇත්තේ පාලි භාෂාවෙනි. ජාතක පොතෙහි ඇතුළත් කතා සංඛ්යාව 547ක් වුව ද ආසන්න ම දහයේ ගුණාකාරය සලකා එය 550ක් සේ පිළිගන්නා බව ග්රන්ථ නාමයෙන් පෙනෙයි. ජාතක කතාවලට අනුව බෝසත්තුමා ලේන, මුව, ආදි සත්ත්ව කුලවල ද උපත ලබා ඇත. මෙම පාඩමේ එන නලපාන ජාතකයේ දී බෝසත්තුමා වඳුරු රජකු ලෙස දැක්වේ. සිය වානර සමූහයාගේ ජීවිත දිය රකුසකුගෙන් බේරා ගැනීමට එම වඳුරු රජතුමා ප්රඥාවන්තව කටයුතු කළ ආකාරය මෙම කතාවට පාදක වී ඇත.
තව ද එක් සමයෙක්හි දෙවි බඹුන් මුදුනෙහි කෙළනා පා පියුම් ඇති ලෝකස්වාමි වූ සර්වඥයන් වහන්සේ කොසොල් දනව්වෙහි සැරිසරා ඇවිදිනා සේක් නලපාන නම් ගමට පැමිණ නලපාන පොකුණ සමීපයෙහි වූ වැටකේ වනයෙහි වසන සේක් බට දඬු අරභයා මේ ජාතකය වදාළ සේක. එසමයෙහි භික්ෂූන් වහන්සේ නලපාන නම් පොකුණෙන් පැන් සනහා ඉඳිකටු කුළා නිසා සාමණේරයන් වහන්සේ ලවා බට දඬු කප්පවා ගෙන්වා ගෙන ඒ සියලූ බට දඬු ගැට නැතිව ඒකච්ඡිද්රව දිගට ම සිදුරු නියාව දැක බුදුන් කරා ගොස් "ස්වාමිණී, අපි ඉඳිකටු කුළා නිසා බට දඬු ගෙන්වූම්හ. ඒ බට දඬු මුල පටන් අග දක්වා දිගට ම සිදුරු ය. මේ කිමෙක්දැ"යි විචාළෝ ය. සර්වඥයන් වහන්සේ එබස් අසා "මහණෙනි, මේ මාගේ පුරාතනයෙහි අධිෂ්ඨානයෙකැ" යි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.
යට ගිය දවස එවන ළැහැබ වල් වූයේ ය. එපොකුණෙහි එක් දිය රකුසෙක් පොකුණට බට මිනිසුන් කන්නේ ය. එසමයෙහි බෝධිසත්ත්වයෝත් තිත් මුවකු සා මහතැති වඳුරු රජව අසූ දහසක් පමණ වඳුරන් විසින් පිරිවරන ලදුව වඳුරු මුළ පරිහරණය කෙරෙමින් ඒ වනයෙහි වසන්නාහු ය. ඒ මහ බෝසතාණෝ වානර සමූහයාට අවවාද දෙන්නාහු "දරුවෙනි, මේ වනයෙහි විෂ වෘක්ෂයෝත් අමනුෂ්යාධිගෘහීත වූ පුෂ්කරණීහුත් වෙති. එසේ හෙයින් තොපි හැම නො කෑ විරූ ඵලාඵලයෙක් කතොත් වේවයි නුපූ විරූ පැනක් බොතොත් වේවයි මා විචාරා ම කව බොව"යි විධාන කළෝ ය. ඒ වානරයෝත් එබස් "යහපතැ"යි පිළිගෙන එක් දවසක් පෙර නො ගිය විරූ තැනකට ගොස් එතැන්හි දහවල් දෙවරු ඇවිද පැන් සොයන්නාහු, එක් පොකුණක් දැක පැන් නො බී ම බෝධිසත්වයන්ගේ ඊම බලා උන්නාහු ය. එකල්හි බෝධිසත්වයෝ අවුත් "කිමෙක් ද? දරුවෙනි, පැන් නො බොව් දැ"යි කිවූ ය. වානරයෝ කියන්නාහු "නුඹ වහන්සේ එන තෙක් බලා උනුම්හ"යි කිවූ ය. බෝධිසත්වයෝ "දරුවෙනි, තොප කළ දේ යහපතැ"යි කියා පොකුණ සිසාරා ඇවිද පියවර පරීක්ෂා කරන්නාහු දියට බට පියවර ම දැක දියෙහි ගොඩ නැගි පියවරක් නොදැක "ඒකාන්තයෙන් මේ අමනුෂ්ය පරිගෘහීත වූ පොකුණක් වුව මැනව"යි දැන පැන් නො බී උන්නා වූ තොප විසින් කළ දෑ ඉතා යහපත් වන්නේ ය. "මේ අමනුෂ්යාධිගෘහීත පොකුණෙකැ"යි කිවූ ය.
උදක රාක්ෂසයා ද ඒ වඳුරන් දියට නො බස්නාවුන් දැක නිල් වූ බඩ හා ධවල වූ මුඛ ඇතිව රත් වූ අතුල් තල, පතුල් තල ඇතිව භයංකර වේශයෙන් දිය දෙබෑ කොට නික්ම "කුමක් නිසා උනු ද? පොකුණට බැස පැන් බොව"යි කීය. එකල මහ බෝසතාණෝ ඕ හට කියන්නෝ "මේ පොකුණෙහි උපන් උදක රාක්ෂසයා නම් තෝ දැ"යි විචාළෝ ය. "එසේ ය මම ය" කී කල්හි "පොකුණට බටුවන් කන්ට ලැබෙන්නේ දැ"යි කිවූ ය. "එසේ ය ලබමි, මම මීට බට යටත් පිරිසෙයින් පක්ෂීන් පටන් කිසි කෙනෙකුන් නො හරිමි. තොප හැම දෙනාත් කන්නෙම් වේ දැ"යි දිය රකුසු කී ය. එබස් ඇසූ බෝධිසත්වයෝ "අපි තොප විසින් අප හැම දෙනා කෑ නො දෙම්හ"යි කිවූ ය. "එසේ කල පැනුත් බොන්නෙව් දැ"යි දිය රකුසු කී ය. "එසේ ය පැනුත් බොම්හ. තොප වසඟයටත් නො පැමිණෙම්හ"යි කිවූ ය. "එසේ කල කෙසේ පැන් බොව් දැ"යි උදක රාක්ෂසයා කී කල්හි "කිමෙක් ද? තෝ බැස පැන් බොති යි සිතන්නෙහි දැ"යි බෝධිසත්වයෝ කියා "අපි හැම අසූ දහසක් පමණ වඳුරෝ පොකුණට නො බැස ම එකී එකී බට දණ්ඩක් ගෙන ඇඹුල් දණ්ඩෙන් පැන් බොන්නවුන් මෙන් තාගේ පොකුණෙන් පැන් බොම්හ. එසේ කල්හි තොපි අප හැම දෙනා කන්ට අසමත් වන්නෙහි වේ දැ"යි කිවූ ය. මෙසේ කියා මහ බෝසතාණෝ එක් බට දණ්ඩක් ගෙන්වා හැර ගෙන පාරමී ධර්මයන් ආවර්ජනා කෙරෙමින් සත්යක්රියා කොට මුඛයෙන් පිඹපූහ. බට දණ්ඩ ඇතුළෙන් කිසි ම ගැටයක් නැතිව මුල සිට අග දක්වා හැම තැන සිදුරු විය. මෙම ක්රමයෙන් අනිකුත් බට දඬු ගෙන්වා පිඹ දුන්නේ ය. තව ද මෙසේ කල්හි පිඹ නිම වන්නට නො පිළිවන්ය යි කියා බෝධිසත්වයෝ මේ පොකුණ වට කොට හට ගත් සියලූ බට දඬු ඒකච්ඡිද්ර වේව"ය කියා අධිෂ්ඨාන කළෝ ය.
බෝධිසත්වවරයන්ගේ කුසල් මහත් බැවින් සිතූ දෙය සමෘද්ධ වන්නේ ය. එසේ හෙයින් එතැන් පටන් ඒ පොකුණ වට කොට සියලූ ම බට දඬු ඒකච්ඡිද්ර විය. ඒකරන්ධ්ර විය. මේ කල්පයෙහි කල්පස්ථායික වූ ප්රාතිහාර්ය සතරෙක් වන්නේ ය. ඒ සතර කවරේ ද? යත්, චන්ද්රයාගේ ශශ ලාඤ්ඡනය මේ කල්පය මුළුල්ලෙහි ගින්නෙන් නො දවන්නේ ය. වට්ටක ජාතකයෙහි ගිනි නිවී ගිය තැන් මේ කප මුළුල්ලෙහි ගින්නෙන් නො දවන්නේ ය. ඝටීකාර නම් කුම්භකාරයාගේ ගෙය පිහිටි තැන් සියලූ මේ කප නො තෙමී තිබෙන්නේ ය. මේ පොකුණ පිරිවරා සිටි සියලූ බට දඬු මේ කප මුළුල්ලෙහි ඒකරන්ධ්ර ව තිබෙන්නේ යයි මෙසේ කල්පස්ථායී වූ ප්රාතිහාර්ය සතරෙක් වන්නේ ය. බෝධිසත්වයෝ මෙසේ අධිෂ්ඨාන කොට එක බට දණ්ඩක් ගෙන උන්නාහු ය. ඒ අසූදහසක් පමණ වානරයෝත් එකි එකී බට දණ්ඩක් ගෙන පොකුණ පිරිවරා උන්නාහු ය. ඔහු හැම දෙනාත් බෝධිසත්වයන් බට දණ්ඩෙන් උරා පැන් බොන්නට පටන් ගත් කල්හි හැම දෙන ම ගොඩ හිඳ බට දණ්ඩෙන් උරා පැන් පූවාහු ය. මෙසේ ඔවුන් හැම දෙනා පැන් පූ කල්හි උදක රාක්ෂසයා කිසිවක් නො ලැබ නො සතුටු වූ සිත් ඇතිව තමා වසන්නා වූ ස්ථානයට ම ගියේය. බෝධිසත්වයෝත් සහපිරිවරින් වලට ම වන්නාහුය. ශාස්තෘ වූ සම්යක් සම්බුදුරජාණන් වහන්සේ "මහණෙනි, මේ බට දඬු සිදුරු වීම මාගේ ම පුරාතන අධිෂ්ඨානයෙකැ"යි මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ නලපාන ජාතකය නිමවා වදාළ සේක.