සමාජයෙහි වීරත්වයෙන් සැලකුම් ලබන චරිතවල ක්රියාකාරකම් අළලා නිර්මාණය වූ පුරාවෘත්ත ද ජන ප්රවාද විශේෂයකි. මේවායෙහි විශේෂත්වය වන්නේ එයින් ප්රකාශිත චරිත හා සිද්ධි සත්ය සේ පෙනී යාම ය. එමගින් ජන සමාජයට වටිනාකම් හා සාරධර්ම හුවා දැක්වීම සිදු කෙරේ.
ඩී. පී. වික්රමසිංහ විසින් සම්පාදිත මග දිගට ජන කතා කෘතිය මහනුවර ප්රදේශයේ ප්රචලිත පුරාවෘත්ත හා ජන කතා සංග්රහයකි. මෙහි ඇතුළත් පුරාවෘත්තවලට පදනම් වූ යුගයේ සමාජ ඉතිහාස කතා ද අන්තර්ගත වීම එහි වැදගත්කම යි. මේ කතාව මග දිගට ජනකතා පොතෙන් උපුටා ගෙන ඇත.
රිකිල්ලගස්කඩ කඩවතින් පටන් ගෙන විල්වල, මොරපාය විහාරස්ථාන පසු කර ගෙන මන්දාරම් නුවර දක්වා පුරාණ ගමන් මාර්ගයක් තිබුණේ ය. දැනුදු ඇත්තේ ය. එම මගෙහි මොරපාය විහාරස්ථානය අසල පිහිටි මානාකොළ නම්
ගමෙහි එකල මුරපොළක් විය. පුරාණ ගමන් මාර්ගයන්හි කඩවත් නොහොත් මුරපොළවල් පිහිටියේ කඳු අතරේ වූ කපොලූ අසල ය. කපොල්ලෙන් පිටතට යා නො හැකි සේ විශාල කටුපැලැල්ලකින් එය ආවරණය කරන ලද්දේ ය. ඒ අසල මුරකරුවෙක් දිවා රාත්රි දෙක්හි ම රැකවල් ගෙන සිටී. මුරකරු නොදන්නා වූ ද අවිශ්වාස කටයුතු වූ ද කිසිවකුට මුරපොළින් ඔබ්බට යෑමට ඉඩ නො ලැබේ. එසේ දුර බැහැර නාඳුනන අයකු වුව හොත් පළාතේ මුලාදෑනියකුගෙන් අවසර පත්රයක් ගෙන ආ යුතු වේ. යුද්ධ මුලාදෑනීන් අතර පමණක් ව්යවහාර වන "අවසර පදයක්" ඇත්තේ ය. අවසර පදය දත් ඕනෑ ම කෙනෙකුට මුර පොළින් යාමට බාධාවක් නො තිබුණ බව සමහර ඓතිහාසික ප්රවෘත්තිවලින් ඔප්පු වේ. එම අවසර පදය අනෙක් කිසිවෙකුට දැනගන්ට නො දී ආරක්ෂා කිරීම මුරකරුවන්ගේ සහ මුලාදෑනින්ගේ යුතුකමෙකි. ඒ අනුව බලන විට කඩවත් මුර කිරීමේ කාර්යයෙහි යෙදෙන්නෝ ඉතා විශ්වාස කටයුතු, ඕනෑ ම අවස්ථාවක රජු වෙනුවෙන් දිවි පිදීමට සූදානම් නිර්භීත ධෛර්යවන්තයෝ වෙති.
මානාකොළ මුරපොළ පිහිටියේ ඉතා උස් කඳු ප්රාන්තයක අන්තිම කෙළවරෙහි ය. ඉදිරිපිටින් ඇති කඳු බෑවුමෙහි මතුරට ආදි ගම් රාශියක් පිහිටා ඇත්තේ ය. මේ කඳුවැටි දෙක අතරෙන් ඛෙලිහුල්ඔය ගලා බසී. කුදු මහත් ගල්කුළු අතරෙන් සුදෝ සුදු ජල ධාරා ඇද හැළෙමින් ගලා බස්නා බෙලිහුල්ඔය ද වලාකුළුවලින් වෙළී පවත්නා නිල්වන් ගිරි ශිඛර ද අනෙක් පසෙන් ඇති මන්දාරම් නුවර වට කළ මහා කඳු පංතියෙහි ගිරි ශිඛර වලා දුහුලින් සැරසුණ යෝධ පෙළක් මෙන් පෙනේ. එකින් එක පඩිපෙළක් මෙන් විහිදී ගිය ලියදිවලින් යුත් කුඹුරු සමූහය මැද පොල්, කිතුල්, කොස් ආදි වෘක්ෂයන්ගෙන් සැදුම් ලද ගම්ගොඩවල් රැස සාගරය මැද පිහිටි දිවයින් මෙන් දර්ශනය වේ. බෙලිහුල්ඔය අසල ම පිහිටි මොරපාය විහාරස්ථානය නිසා මේ දර්ශනීයත්වය ද්විගුණ කෙරේ.
ත්රිසිංහලාධීශ්වර දෙවන රාජසිංහ හෙවත් රාසිංදෙයියන් දවස මානකොළ කඩවතෙහි මුර සේවාව භාරව සිටියේ ‘හවඩියා’ නම් ලත් රාජපාක්ෂික ධෛර්යවත් ගම්වැසියෙකි.
මහනුවර ප්රතිකාලූන් අල්ලා ගෙන සිටි කාලයේ දී ඔවුන්ගේ ඔත්තුකාරයන් උඩරට පුරා රජු සොයා ඇවිදීමෙහි යෙදී සිටින බව රාජසිංහ රජ දන්නේ ය. ඒ නිසා "ඔත්තුකාරයන් ගැන කඩවත් මුරකරුවන් නිසි සේ ක්රියා කෙරේදැ" යි දැනගැනීමට රජුට අවශ්ය විය. රජතුමා එක් දවසක ගම්වැසියකු ලෙස සැරසී මානාකොළ කඩවත පරීක්ෂා කිරීම සඳහා එහි පැමිණියේ ය.
රජතුමා මුරකරුට කථාකොට කඩවතින් ඔබ්බට යාමට ඉඩදෙන ලෙස ඉල්ලා සිටියේ ය. මුරකරු උත්තර දෙමින් "මා මෙතන සිටින්නේ නො හඳුනන අවිශ්වාස අයගේ ගමන නතර කිරීමට ය. ඔබ කවුද? කුමක් සඳහා කොහි යන්නෙහි ද? ගමරට කොහි ද? යන කිසිවක් මම නො දන්නෙමි. ඔබට මින් ඔබ්බට යාමට ඉඩ දීම මාගේ රාජ සේවය පැහැර හැරීමකි. එබැවින් ඔබට මින් ඉදිරියට යාමට ඉඩ නො දෙමි. වහා ආපසු හැරී යනු මැනව"යි ඉතා ශික්ෂිතව දැනුම් දුන්නේ ය. එවිට වෙස්වළා ගත් රජතුමා ඉන් පසුබට නොවී "මම මහනුවර අසල ගම්වැසියෙක්මි. මගේ භාර්යාව සහ දරුවෝ මන්දාරම් නුවර වෙසෙති. ඔවුන් බැලීමට යාම සඳහා ඉඩ දුන මැනව"යි කීවේ ය. "ඔබ මහනුවර අසල ගම්වැසියකු නම් එගම ගම් ආරච්චිලගෙන් හෝ කෝරළේ නිලමෙතුමාගෙන් ගමන් අවසර පත්රයක් ගෙනාවෙහි දැයි" මුරකරුවා ප්රශ්න කෙළේ ය. එවිට රජු අනේ! ආයුබෝවන්ට මම ඒ දෙපොළ ම සොයන්ට ගියෙමි. නමුත් සම්බ නොවී ය. දරුවකුට අසනීප යයි ආරංචි නිසා ඉක්මනින් යාමට පැමිෙණියෙමි. මම ඔත්තුකාරයකු හෝ බොරුකාරයෙක් නොවෙමි; ඒ නිසා මට යන්ට ඉඩ දුන මැනව”යි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේ ය.
"ඔබ කුමක් කීවත් මම ඔබට මෙතැනින් යාමට ඉඩ නො දෙමි. ඒ මගේ සේවය යි. මගේ සේවයට කැළලක් මම කිසි කලෙක නො කරමි. ඒ නිසා මෙතැන රැඳී නො සිට ආපසු යනු මැනව" යි නැවත ඉතා විනීත අන්දමින් කීවේ ය. එවිට මගී වෙසින් සිටි රජතුමා ඔලගුවට අත දමා රන් කාසියක් ගෙන, "මෙය රැගෙන මට යන්ට ඉඩ දුන මැනව"යි ඉල්ලා සිටියේ ය. එබසින් මුරකරු දණ්ඩෙන් පහර ලත් සර්පයකු මෙන් කුපිත වී, මුර හෙල්ල අතට ගත්තේ ය. "මම තොපගේ අල්ලසට ගිජු වී මගේ සේවය පැහැර හරින නිවටයෙක් නො වෙමි. තොප නම් ඒකාන්තයෙන් රාජද්රෝහී ඔත්තුකාරයකු මෙන් පෙනේ. ත්රිසිංහලාධීශ්වර රාසිංදෙයියන්ගේ අණ ඇත්නම් මෙතැනින් එහාට අඩියක්වත් නො තබව; එසේ අඩියක්වත් ඉදිරියට තැබුවොත් රාසිංදෙයියන්ගේ අණින් තොපගේ දිවි තොර කරන බව දැන ගනුව" යි ගර්ජනා කෙළේ ය. ඉන් පසු මගියා තවත් පෙරැත්ත නො කර පසුබැස ආපසු හැරී යන්ට ගියේ ය.
පසු දින හඟුරන්කෙත මහවාසලට වහා පැමිණෙන මෙන් හවඩියාට රාජාඥාවක් ලැබිණි. ඔහු තමාගේ සේවය සිය අතවැස්සාට පවරා දෙගිඩි දෙවාරු සිතින් රජවාසල කරා පැමිණියේ ය. මේ රාජාඥාව කුමක් සඳහා වී ද? මෙයින් තමාට යහපතක් වේ ද? අයහපතක් වේ ද? යනු නිශ්චය කර ගැනීමට ඔහුට නො හැකි විය. (දෙගිඩි දෙවාරු සිත නම් එයයි.) නමුත් තමා දැනුවත්ව නම් රාජද්රෝහිකමක් හෝ රාජ සේවය පැහැර හැරීමක් හෝ සිදු වී නැති නිසා සිතට තරමක සැනසීමක් ඇති විය.
නියමිත වේලාවට සිංහාසනාරූඪ වූ මිහිපති තෙමේ "මානාකොළ කඩවත මුරකරු මෙහි කැඳවව්"යයි අණ කෙළේ ය. ඒ අනුව හවඩියා රජු ඉදිරියෙහි පෙනී සිට, මුණින් වැටී නමස්කාර කර පසෙකට විය. "ඊයේ හවස් වරුවේ මානාකොළ කඩවත මුරකළේ තා දැ"යි රජ පිළිවිසී ය. "එසේ ය දේවයන් වහන්සෙ! බලූගැත්තා එම සේවයෙහි යෙදී සිටියේ ය" යි ඉතා යටහත් පහත් බසින් සැල කර සිටියේ ය. ඒ වේලෙහි යම්කිසි පුරුෂයෙක් මුරපොළින් යාමට වෑයම් කෙළේ දැ’යි නැවතත් රජ ඇසී ය. ‘එසේය දේවයන් වහන්ස! යම්කිසි ඔත්තුකාරයකු වැනි පුද්ගලයෙක් මුරපොළින් බැහැර යාමට වෑයම් කෙළේ ය. මම ඊට ඉඩ නුදුන්නෙමි. අන්තිමේ දී ඔහු මට අල්ලසක් දී යාමට වෑයම් කෙළේ ය. එවේලෙහි මම මහාරාජෝත්තමයාණන් වහන්සේගේ අණ මුල් කොට ඔහුට තර්ජනය කර ආපසු පලවා හැරියෙමි” යි මුරකරුවා ඉතා බැගෑපත්ව දන්වා සිටියේ ය.
"ඔහු කවරෙක් ද යන බව තා දනිත් දැ"යි නැවත රජ ප්රශ්න කෙළේ ය. "ඔහු කවුරු ද යන බව නො දනිමි; කවුරු හෝ වේවා! ඔහු නම් ඔත්තුකාරයකු හෝ රාජද්රෝහියකු හෝ විය යුතු ය. මට අල්ලසක් දී හෝ ඔහුට යාමට උවමනාව තිබුණි. ඒ නිසා ම මම ඔහුට තර්ජනය කළෙමි. එවිට ඔහු කර බා ගෙන ආපසු හැරී ආවේය” යි හවඩියා නැවතත් බැගෑපත්ව සැල කෙළේ ය.
"එසේ නම් දැන ගනුව, ඒ යන්ට වෑයම් කළ රාජද්රෝහියා නම් මම වෙමි. අනෙකෙක් නො වේ ය" යි රජ ප්රකාශ කෙළේ ය. එවදන් ඇසූ හවඩියාගේ උගුරේ කෙළ සිඳිණි. ගතින් දාඩිය මතු විණි. ‘මා නින්දා අපහාස කෙළේ
ත්රිසිංහලාධීශ්වර රාසිංදෙයියන්ට නො වේ දැ”යි පපුව ගැහෙන්ට විය. ඔහු මුණින් වැටී වැඳ "අහෝ! දේවයන් වහන්ස! බලූගැත්තා නො දැන කළ වරදට මහවාසල කරුණාව ලැබෙන සේක්වා" යි කන්නලව් කරන්ට විය.
එවිට රජ සිනා මුසු මුහුණින් යුතුව "එම්බා මුරකරුව, තොප මහවාසලට කිසි වරදක් නො කෙළෙහි ය. තොප වැනි රාජ සේවකයන් ඇති මම ආඩම්බර වෙමි. තොපගේ ඍජු සහගත රාජ පාක්ෂිකකම ගැන මම ඉතා ප්රීති වීමි. රාජ සේවයෙහි යෙදවිය යුත්තේ අල්ලසට ළැදි නො වී තර්ජනයට බිය නො වන තොප වැනි රාජ පාක්ෂිකයන් ය. එබැවින් තොපට මහවාසලින් කරුණා සම්පත් ලැඛෙන්නේ ය" යි කියා රජු හිණ පැලඳි රන් හවඩිය ගලවා හවඩියාගේ ඉණේ බැඳ රාජ ස්පර්ශයෙන් බල දානය කොට "රන් හවඩි දුර" යන නම ද පට බැඳ රාජකීය ගම්වරයක් ද ප්රදානය කෙළේ ය.