21 - සතුරු මිතුරුව

නිර්මාණාත්මක ප්‍රබන්ධ රචනයට උපදෙස් ලබා දෙන පොත පත සිංහලයේ දුර්ලභ ය. ඒ සඳහා වැදගත් මූලාශ්‍රයක් ලෙස සැලකෙන ප්‍රබන්ධෝපදේශය මුනිදාස කුමාරතුංගගේ කෘතියකි. එම ග්‍රන්ථයෙන් උපුටා ගත් කතාවක් මේ පාඩමේ දැක්වේ. එය ලංකාවේ ඉතිහාසය හා බැඳුණු පුවතකි.

මෙයට අවුරුදු එක්දහස් සසිය පස්පනසකට පෙරැ ලක් දිවැ රජ පැමිණි මහාසේනයෝ මහාවිහාරයෙහි භික්ෂූන්ගේ මතයට විරුද්ධ වූ කෙනෙකි. ඔවුන්ගේ ගුරු වූවෝ සංඝමිත්‍ර නම්හ. ඔවුන් මහාසේනයන්ගේ පිය රජ සමයෙහි ජම්බුද්වීපයෙන් ලංකාවට පැමිණියේ ‘මහාවිහාර භික්ෂූන් වෛතුල්‍ය මත ගන්වමි, නැත හොත්, ඔවුන්ගේ විහාරයන් මුලිනුදුරුවා-පියමි’ යන ප්‍රතිඥාව කොටැ-ගෙනැ යැ.

මහාසේනයෝ සිය ගුරුනට ඉතා භක්තිමත් වූහ. එහෙයින් ඔවුන්ගේ සමයයෙහි දී ගුරුහු ස්වකීය ප්‍රතිඥාව සමෘද්ධ කැරැලීමට අවකාශ ලද්දෝ යැ. රජුන්ගේ අනුමැතිය ඇති වැ, සංඝමිත්‍රයෝ ‘මහාවිහාර වාසී ශ්‍රමණයක්හට අහරක් දුන්නකුට සියක් දඩ යැ’ යි අණක් ලැවූහ. මහාවිහාර භික්ෂූහු ආහාර නො ලැබැ, මලයයට ද රුහුණට ද ගියෝ යැ. සංඝමිත්‍රයෝ මහාවිහාරය විනාශ කරවා වෙහෙර බිම සාවා උඳු වැපිරැවූහ.

මහාසේනයන්ගේ මිත්‍ර වූ මේඝවර්ණ නම් අමාත්‍ය කෙනෙක් වූවෝ යැ. සංඝමිත්‍රයන්ගේ ශාසන නාසන ක්‍රියා මොවුන්ගේ මිත්‍ර ධර්මය ලිහිල් කෙළේ යැ. හවුරුදු නවයකට පසු සංඝමිත්‍රයන්, මහාවිහාරය, ලෝවාමහපාය ආදිය ඇතුළු විහාර තුන්සිය සූසැටක් බිඳැ හෙළුෑ පසු, රට වැසියන් තදින් කිපුණු පසු, මේඝවර්ණයෝ මලයයට ගොස්, එහි සෙනඟ රැස් කොටැ ගෙනැ, රුහුණට ගියෝ යැ. එහි මිනිස්සු මේඝවර්ණයන්ගේ සේනාව ඉතා මහත් කළහ.

මෙසේ සර්වාංග සම්පූර්ණ වූ මහා සේනාව පිරිවරා මේඝවර්ණයෝ අනුරාධපුරය බලා නමා ගත්හ. මේ ප්‍රවෘත්තිය ඇසූ මහාසේනයෝ ද, ‘යහළුවා ඔහුගේ තැනෙහි දී මැ, සුදුසු පරිදි දකිමැ’ යි තමන්ගේ සේනාව සන්නද්ධ කොටැ-ගෙනැ, දකුණ බලා ගමන් ගත්තෝ යැ. ඔහු වහවහා යන්නාහු, කිහිප දිනෙකින් මැ සතුරු සෙනඟට නුදුරු වූහ. රජ සෙනඟ පැමි‚ බව අසා, මේඝවර්ණයෝ මහගමට නුදුරු දූරතිස්ස නම් වැව සමීපයෙහි කඳවුරු ලා ගත්හ. මහාසේනයන්ගේ කඳවුර එයට නුදුරු වූ සුරක්ෂිත ස්ථානයෙකැ වී යැ.

යහළුවන් ඔවුනොවුන්ගේ ලෙහෙයෙන් කඩු පත් සුරත් කරන දින සෙට යැ. අද දෙකඳවුරෙහි මැ භටයෝ කවස බැඳුම් ලති, කඩු මුවහත් කෙරෙති, දුනු දඬු, දුනු දිය, හී විමසති. නායකයෝ මුළු සෙන`ග පිරික්සා, නොතර තැන් තර කෙරෙති. එක් කඳවුරෙකැ චරයෝ අනෙක් කඳවුරට වෙස් වළා වැදැ, එහි ශක්තිය දැන ගෙනැ, දුර්වල ස්ථානයන් දැනැ ගෙනැ, ස්වකීය පක්ෂය දන්වති. සේනාධිපතීහු, ‘මෙතෙක් දෙන පසු කඩ ගෙනැයන්නෝ යැ, මෙතෙක් දෙන ආපදාදියෙහි දී එන්නට ඉන්නෝ යැ’ යන ආදින් සේනා සංවිධානය කෙරෙති.

ඇඳිරි ගැසෙත් මැ දෙකඳවුරෙහි මැ රකවල් ඉතා තර යැ. සන්ධි රක්ෂකයා නොහඬවා, ඔහුගේ තෝමරය එල්ලවනු නොදැකැ, කඳවුරට වදනේ සුළඟ පමණෙකි. ඇතැම් භටයෝ නිසැක වැ නිදත්. ඇතැම්හු සන්නාහ සන්නද්ධ වැ, අදිසි පහරකට මුහුණ පාන්නට සැරැසී සිටිති. වරින් වරැ නායකයෙක් කඳවුර වටා ගොස් සන්ධි බලා, රකවල් බලා එයි.

හිරු බැස හෝරා දෙකක් ගත වියැ. රජ කඳවුරෙහි රක්ෂකයෙක් සතුරු කඳවුරින් එන්නකු දිට. රක්ෂකයා තෝමරය තර කොටැ අල්ලා ගත්තේ යැ, තොල් තද කැරැ-ගත්තේ යැ. එන්නහු ඇසි පිය නො හෙළා බලා සිටියේ යැ. එන්නේ නො නැවතැ මැ එයි. දැන් කඳවුරෙහි පන්දම් එළිය ඔහුට වැටෙයි. හේ ශෝභමාන පුරුෂයෙකි, සුවිනීත ලෙස, සුදු වතින් සැරසුණෙකි. සුදු වතින් වැසූ තටුවක් දෑතින් ගත්තෙකි.

ඔහු හා රක්ෂකයා හා අතර දැන් තුන් බඹයෙක් පමණ යැ. රක්ෂකයාගේ තෝමරය එල්ල වියැ. ඔහුගේ මුව විවර වියැ. ඉන් හෙඬක් නැඟිණ.

"හෝ, නවතිනු. කවරෙක් ද?"

"මම, මේඝවර්ණ. රාජ ස්වාමීන් දක්නට යෙමි. මා දක්වව."

රක්ෂකයා දික් කළ තෝමරය ඇදැ, අමුත්තා වැඳැ, "මෙසේ වඩිනු මැනැවැ"යි කියමින් පෙරටු වියැ. ක්ෂණයෙකින් මහාසේන, මේඝවර්ණ යන දෙදෙන යළි දු මුණ ගැසුණෝ යැ. මේඝවර්ණයෝ රජුන් වැඳ, තටුව පසෙකැ තබා, වැස්ම ඉවත් කළෝ යැ.

"මේ කිමෙක් ද, මේඝවර්ණයෙනි?"

"දේවයන් වහන්ස, මට මලය රටින් ලැබුණෙකි. මේ ප්‍රණීත මාංසයෙකි. මේ මධුර පානයෙකි. පෙරැ මෙබන්දක් ලත් කලැ මට සිහි වන සේක් ඔබ වහන්සේ යැ. අද ද වෙනසෙක් නොවී යැ. එ හෙයින් ගෙනැ ආමි. කැව මැනැවැ, පුව මැනැවැ.”

"තෙපි ද හිඳැ ගනුව, මේඝවර්ණයෙනි" යි කියමින් මහාසේනයෝ හිඳ ගත්හ. මේඝවර්ණයෝ ද හිඳ ගත්හ. තටුව මඳින් මඳ හිස් වියැ. "ඉතා මිහිරි යි, මේඝවර්ණයෙනි, ඉතා මිහිරි යි" යනු අතරතුරැ කිහිප විටක් මැ රජුන්ගේ මුවින් නික්මිණ.

කා බී කෙළවර වූ පසු, යහළුවෝ දෙදෙන එක් වැ හිඳැ ගෙනැ, කථාවට වැටුණෝ යැ.

"මාගේ පරම මිත්‍ර වූ තෙපි මට කවර හෙයින් දාමරික වූ හූ ද?"

"ඔබ වහන්සේහට මම දාමරික නො වීමි. ඔබ වහන්සේගේ ශාසන නාසන ක්‍රියාවට මම දාමරිකයෙමි. මහා විහාරය නැසීමෙන් ශෝකයට පත් වැ මෙසේ කළෙමි.”

"මේඝවර්ණයෙනි, මා මුළා වැ කළ වරදෙකි. මම මහාවිහාරය නැවැතැ කරවන්නෙමි. තෙපි මාගේ වරද ක්ෂමා කරවු ද?"

"ඒකාන්තයෙන් මැ, දේවයන් වහන්ස, ක්ෂමා කෙරෙමි. මහාවිහාරය කැරැවීමට සහාය ද වෙමි. මාගේ වරද ද ක්ෂමා කළ මැනැවි.” දෙමිතුරෝ මිතුරෝ මැ වූහ.

යුද්ධය එපමණෙකි. මේ ප්‍රවෘත්තිය විදුලිය මෙන් දෙකඳවුරෙහි පැතිරැ ගියේ යැ. පසු දිනැ උදයෙහි එහි දක්නට ලැබුණේ කඳවුරු උගුළුවා යන්නට සැරැසෙනු පමණෙකි. සත්‍ය වූ මිත්‍ර ධර්මයක් බැලූව මැනවි. දහස් ගණන් ජනයාගේ මරණය වැළැකිණ. මහාවිහාරය පමණක් නොවැ, නසන ලද සියලූ විහාර මැ පෙරළා කැරැවිණ. මහා ජනයාගේ කෝපය නිවිණ. රට සුවපත් විණ.