සුසිරිතෙහි යෙදෙමින් දුසිරිතෙන් ඈත් වෙමින් සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමට මග පෙන්වන සිරිත් මල්දම උපදේශ සාහිත්‍යයෙහි ලා සැලකිය හැකි කාව්‍ය කෘතියකි. පහසුවෙන් මතකයේ රැඳෙන සරල සුගම බස් වහරකින් මේ කවි පබඳන ලද්දේ ඇම්.ඇල්. සිල්වා ගුරු මුහන්දිරම්තුමා විසිනි. ළමා වියේ සිට යහපත් පුරුදු ආකල්ප ඇතිව සමාජයට වැඩදායක ලෙස ජීවිතය හැඩ ගස්වා ගන්නා ආකාරය මේ කවිවලින් කියැවේ.
1 නමින් පට බැන්දත්
රනින් රුවනින් දිලූණත්
කුලෙන් රජ වූවත්
එයින් ඵල කිම සිරිත් හැරියොත්
2 ඉර උදා වන්නට
පළමුව නැගිට සිහි කොට
අලසකම් දුරු කොට
කරන් වැඩපළ දියුණු වන්නට
3 වැඩක නො යෙදූ සිත
නරක අතට ම පෙරළෙත
කිමෙක වන යහපත
වැඩක එබැවින් යොදනු තම සිත
4 හිස අවුල් කරගෙන
කිළුටු වැරහැලි ඇඳගෙන
පඹයෙකුගෙ විලසින
ඉඳුම හොඳ නෑ බූත කරමින
5 අතින් අත බැඳ පෙළ
නො යන් මං මාවත්වල
තැනින් තැන කඩවල
නො යන් කරුණක් නැතිව කිසි කල
6 කෑමට කෑදරකම් නො කරන්නේ
තව මට කියමින් කෑ නො ගසන්නේ
තරහට කෑමක් විසි නො කරන්නේ
එළි පිට හිටගෙන කෑම නො කන්නේ
7 ඇඟ වැසුමෙන් නිසි ඇඳුම් අඳින්නේ
බඩ නෙරුමෙන් රෙදි ඇඳ නොම ගන්නේ
හිස වැසුමෙන් කිසි තැන නො වදින්නේ
සුදුසු තැනින් නිසි ලෙස පලයන්නේ
8 උතුමන් ඉදිරියෙ කෙළ නො ගසන්නේ
ඉඳිමින් එහි පා දිගු නො කරන්නේ
එලෙසින් ඉඳ ඈනුම් නාරින්නේ
සියතින් එලෙස ම හිස නො කසන්නේ
9 එක ම වැඩක නිතර ම නො යෙදෙන්නේ
වෙන ම වෙන ම වැඩ සලකා ගන්නේ
පෙනුම ඇතුව හොඳ වැඩ කරපන්නේ
තරම නො දැන වැඩකට නො බසින්නේ
10 හිසකේ විදා ගෙන යම් තැනකට නො යමි
හිසකේ විදා ගෙන උතුමන් වෙත නො යමි
හිසකේ විදා ගෙන දොරකඩ නොම ඉඳිමී
හිසකේ විදා ගෙන සබ මැද නො ගැවසෙමී
11 අනුන්ට බුහුමන් දී සලකන්නේ
තමන්ට බුහුමන් ලැබෙයි එයින්නේ
අනුන්ට තම වංශය කියමින්නේ
ලබන්ට නම්බුව නො සිතාපන්නෙ