තව්හීද්, රිසාලත්, මආද් යන මූලික ඉස්ලාමීය විශ්වාසයන් අතර තව්හීද් ප්රධාන වේ. අල්ලාහ් ඒකයා වේ. කිසිවකට සම කළ නොහැකි අල්ලාහ්ට කිසිවකුගේ සහායක් අවශ්ය නොවේ. සියල්ලෙහි 'ඉලාහ්' ඔහු ය; 'රබ්බු' ද ඔහු ය. සියල්ල ඔහු මත රැඳී ඇත. එහෙත් ඔහු අන් කිසිවක් මත රඳා නොපවතී, යන ඒක දේව විශ්වාසය හා එම විශ්වාසයට අනුකූල ව ජීවත් වීම 'තව්හීද්' නම් වේ. තව්හීදයට පටහැනි සියලූ විශ්වාස හා ක්රියාකාරකම් 'ෂිර්ක්' (සම කිරීම) යනුවෙන් හැඳින්වේ. මෙය අල්ලාහ් සමාව නොදෙන මහා පාපයකි.
"උදවු පතනවා නම් ඊට සුදුස්සා අල්ලාහ් පමණි" යන විශ්වාසයෙන් යුක්තව සෑම අවස්ථාවක දී ම ඔහුගෙන් ම අයැදීමෙන් පිළිඹිබු වන්නේ ඒක දේව විශ්වාසය වේ. මෙය අල්ලාහ් පමණක් නැමදීමට සමාන වූ ක්රියාවකි. මෙය අල්ලාහ් සෑම ගැත්තකුගෙ න් ම පරිපූර්ණ ලෙස බලාපොරොත්තු වන්නේ ය. එනිසා සලාතයේ දී "සූරතුල් ෆාතිහා" පාරායනය අනිවාර්ය කර එමගින් නැමදීම, උදවු පැතීම යන කරුණ් දෙක සම්බන්ධ කර "ඔබ ම නමදිමු; ඔබගෙන් ම උදවු පතමු" යැයි සහතික වීම ගැත්තාගේ මුවින් දිනකට 17 වතාවක් කීමට සලස්වා ඇත්තේ ය.
අල්ලාහ් අල් කුර්ආනයේ ඊමාන්ධාරීන් දෙස බලා ඔහුගෙන් ම පමණක් උදවු පතන ලෙස අණ කරයි.
"විශ්වාසවන්තයිනි! ඉවසීම හා සලාතය මගින් ඔබ අල්ලාහ්ගෙන් උදවු පතන්න, සැබැවින් ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග සිටින්නේ ය." (2:153)
තවද ඉවසීම හා නමස්කාරය මගින් පිහිට පතනු, ඇත්තෙන්ම නිහතමානීවන්නන්ට හැර මෙය දුෂ්කර දෙයකි. (2:45)
අල්ලාහ්ගෙන් ම උදවු පැතිය යුතු ය, යන්න නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමන් ද අවධාරණය කර ඇත්තේ ය.
බලවත් මුඃමින් දුබල මුඃමින්ට වඩා අල්ලාහ්ට ඉතා සමීප ය. සියල්ලෙහි ම යහපතක් තිබේ. ඔබට ප්රයෝජනවත් කරුණුවල දී උනන්දුවක් දක්වන්න. අල්ලාහ්ගෙන් ම උදවු පතන්න. (කිසිවක් කිරීමට නොහැකි) දුබලයන් බවට පත්නොවන්න. (මුස්ලිම්)
අල්ලාහ්ගෙන් පමණක් උදවු පැතිය යුත්තේ ඇයි?
අප අල්ලාහ් දයාව කරුණාව ඇත්තෙකි. උදව් පැතීමට සුදුස්සා ද ඔහු ම ය. මව දරුවා කෙරෙහි ආදරය දක්වයි. එනිසා දරුවා සැම විට ම මවගේ උදව්ව පතමින් පසුවෙයි. කරුණාවක් නැති අයගෙන් උදවු බලාපොරොත්තු වන විට, ඔවුන් අපගෙන් ප්රතිඋපකාර බලාපොරොත්තු වනු ඇත. නැතහොත් තමන් කරන උදව්ව මඟින් ඊට වැඩි යමක් බලාපොරොත්තු විය හැකි ය. එහෙත් කරුණා දයාව ඇති කෙනා මෙයින් ඔබ්බට ගොස්, තමන්ගෙන් උදවු පතන අයගේ යහපත පමණක් බලාපොරොත්තු වේ.