මුළු විශ්වයේ ම මැවුම්කාර දෙවියන් වහන්සේට කිතුනු ජනතාව එක් රැස් වී පුද දෙනු ලබන උතුම් ම වන්දනාව දේව වන්දනාව (ජනවන්දනාව) ලෙසින් අපි උගත්තෙමු. දේව වන්දනාවේ (ජන වන්දනාවේ) ප්‍රධාන අංග තුනකි.
දිව්‍ය පූජාව
දේව වන්දනාවේ උතුම් ම පිළිවෙත දිව්‍ය පූජා යාගය වේ. ක්‍රිස්තුන් වහන්සේගේ පාස්කු අබිරහස පූර්ණ ලෙස සමරනු ලැබීම මෙහි දී සිදු වේ. දිව්‍ය පූජා යාගයට සහභාගි වන සැදැහැවත් සැම දෙනා ම එම උතුම් අවස්ථාවට පංගුකාර වේ.
දිව්‍ය පූජාව,
පළමු දේව ප්‍රකාශය, පිළිතුරු ගීය, දෙවන දේව ප්‍රකාශය, සුපුවත් ජය නද (සාධුකාරය), සුබාරංචි ප්‍රකාශය, දේව වචනය තුළ යහපත් දිවියක් ගත කිරීමට මග පෙන්වනු ලබන ධර්මානුශාසනාව විශ්වාස ලක්ෂණය හා විශ්වාසකයින්ගේ යැදුම්වලින් දේව වාක්‍ය පිළිවෙත සමන්විත ය.
ස්තෝත්ර යාගික පිළිවෙත, ස්තෝත්ර යාගික යැදුම, මහා සාධුකාරය, ස්වාමිවාක් ආරාධනාව සාමය පැතීම, පූප කැඩීම, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දානය කිරීම යන කොටස්වලින් සමන්විත ය. මෙම සැම පිළිවෙතක් ම සිදු කිරීමේ දී ශුද්ධ වූ සභාව පිළිගත් සලකුණු, සංකේත, යාච්ඤා හා වත්පිළිවෙත් භාවිත කරයි. මෙම උතුම් දේව වන්දනා පිළිවෙතට සැම ඉරුදිනක දී ම මෙන් ම ණය මංගල්‍යය දිනක දී හැකි අවස්ථාවන්හි දිනපතාත් අර්ථාන්විත ව හා ගෞරවාන්විත ව සහභාගී වීම කිතුනු අපගේ යුතුකමකි.
දේව ප්‍රසාද නිධාන
උත්ථාන ව වැඩ සිටින දෙවි සමිඳුන් සම්මුඛ වීම සඳහා ඇතුළතින් අප වෙත දානය කරනු ලබන දේව වරප්‍රසාද බාහිර වශයෙන් සලකුණු වන ආකාරයෙන් ක්‍රිස්තුන් වහන්සේ විසින් ස්ථාපිත කර ඇති සංඥා පිළිවෙත් දේව ප්‍රසාද නිධාන වේ. ඒ අනුව දේව ප්‍රසාද නිධාන සතක් ඇත. ප්‍රසාද ස්නාපනය, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ, අභිවෘද්ධි ආලේපය, සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය, රෝගීන්ගේ ආලේපය, පූජකවරය හා ආශිර්වාදකාර බන්ධනය ඒවා ය. මේ සැම දේව ප්‍රසාද නිධානයක් ම ක්‍රිස්තුන් වහන්සේගේ පාස්කු අභිරහස තුළින් ගලා එයි.
බාහිර ව මෙන් ම ආධ්‍යාත්මික ව නිසි සුදානමකින් ලබා ගන්නා මෙම දේව ප්‍රසාද නිධානවලින් දේව වරප්‍රසාද රැසක් අප වෙත ගලා එන අතර කිතුනු අපගේ ජීවිත පැවැත්මට එය මහත් ආශිර්වාදයක් ද වන්නේ ය.
යාම යැදුම
ශුද්ධ වූ සභාවේ නිල යැදුම ලෙස යාම යැදුම හදුන්වනු ලබයි. දවසේ නිශ්චිත කාලවල දී (යාමවල දී) ගීතාවලියේ ගීතිකා හා ශුද්ධ බයිබලීය ගීතිකා ඇසුරින් දේව ජනතාව එක් වී දෙවියන් වහන්සේට සිදු කරන ප්රශංසාත්මක යාච්ඤා පිළිවෙතක් ලෙස යාම යැදුම ඉතා සරල ව හදුන්වා දිය හැකිය. දවසේ නිශ්චිත යාමවල දී මෙය සිදු කෙරෙන හෙයින් "යාම යැදුම" ලෙස එය හඳුන්වනු ලබයි. (උදේ, දිවා, සවස හා රාත්‍රි යන කාලයන්හි) ශුද්ධ වූ සභාවේ මෙම නිල යැදුම තුළ පූජක, පැවිදි හා ගිහි පිරිස ප්‍රසාද ස්නාපනයෙන් තමන් ලද පූජක වගකීම් ක්‍රියාවට නංවයි.
සියලූ කාලය දෙවියන් වහන්සේට අයිති ය. එම නිසා සැම යාමයක දී ම දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම යාම යැදුමේ පරමාර්ථය යි.
පූජක හා පැවිදි පිරිස දිනපතා යාම යැදුම සිදු කරයි. ගිහි සැදැහැවතුන් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට පෙරදින පැවැත්වෙන සන්ධ්‍යා යාම යැදුම අවස්ථාවේ දී මීට එක් වේ.
මෙම දේව වන්දනාවේ අංග ත්‍රීත්වයට අප අර්ථාන්විත ව සහභාගි විය යුතු ය. එහෙයින් දිව්‍ය පූජාව ආරම්භයේ සිට ම අවසානය දක්වා ඉමහත් බැතියෙන් මෙන් ම අර්ථාන්විත ව ද එයට සහභාගි විය යුතු ය.
එමෙන් ම කිතුනු අප නියමිත වයස් සීමාවේ දී නිසි සුදානමකින් හා පූර්ණ අවබෝධයකින් යුතු ව දේව ප්‍රසාද නිධාන ලබා ගැනීමට උනන්දු විය යුතු ය.
එපමණක් නොව විශ්වය මවා ලු දෙවි පියාණන් වහන්සේට යාම යැදුමෙන් දිනපතා තුති ප්‍රශංසා කිරීමට ද අප යොමු විය යුතු ය. දෛනික ව එය එසේ කළ නොහැකි වූවත් මීසමේ සන්ධ්‍යා මෙහෙය පවත්වන අවස්ථාවේ දී පූර්ණ වශයෙන් හා අර්ථාන්විත ව සහභාගී වීමෙන් සැඳෑ යාම යැදුමට අපට එකාබද්ධ විය හැකි ය.
මෙලෙස දේව වන්දනාවේ ප්‍රධාන අංග වෙත නැඹුරු වෙමින් අපගේ ප්‍රශංසාව හා වන්දනාව ස්වාමීන් වහන්සේට පුද කරන්නට අපි නිරතුරුව ම කැපවෙමු.