අපේ බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ය. උන් වහන්සේලා ගිහි තරුණයන් ලෙස පැවිද්දට පෙළඹුණු ආකාරයත් පැවිද්දෙන් පසු ගත කළ ජීවිතයත් ඛෙහෙවින්ම ආදර්ශවත් ය. ඒ චරිත දෙකෙන් අපට උගත හැකි බොහෝ දේ ඇත.
දඹදිව, රජගහ නුවර ප්රසිද්ධ නගරයකි. ඒ සමීපයෙහි උපතිස්ස නම් වූ සුන්දර බමුණු ගමක් පිහිටා තිබුණි. එහි මහාසාර නම් බමුණු කුලයක සාරි නම් වූ බැමිණියට උපන් දෙටු පුතු උපතිස්ස නමින් ප්රකට විය. කෝලිත නමින් හඳුන්වන ලද්දේ උපතිස්ස ගම සමීපයෙහි වූ තවත් එවැනි ම බමුණු ගමකි. එහි මහාසාර බමුණු කුලයෙහි උපන් මොග්ගල්ලාන බැමිණියගේ පුත්රයා ප්රකට වූයේ කෝලිත නමිනි.
උපතිස්ස - කෝලිත දෙදෙන ඉතා කුඩා කල පටන් ම කල්යාණ මිත්රයෝ වූහ. ක්රමයෙන් තරුණ වියට පත් ඔවුහු තවත් මිතුරන් පිරිසක් ද සමග රජගහ නුවර වාර්ෂික ව පැවැත්වෙන මහා සැණකෙළියකට සහභාගි වූහ. එය හැඳින්වූයේ "ගිරග්ගසමජ්ජ" යනුවෙනි. එම සැණකෙළිය සැමට මහත් විනෝදාස්වාදයක් ගෙන දුන්නේ ය. දිනක් උපතිස්ස - කෝලිත දෙදෙනාට ම සිතුණේ මේ විනෝදය නිරර්ථක දෙයක් බවයි.
මෙලොව උපන් සත්ත්ව වර්ගයා මොහොතින් මොහොත මරණය කරා ළඟා වන කල්හි මෙබඳු නැටුම්, ගැයුම්, වැයුම් දෙස බලා විනෝද වීමෙන් ඇති ඵලය කුමක් දැයි, දෙදෙනා ම ඔවුනොවුන්ගෙන් විමසූහ. ඔවුන් විමුක්තිය සොයමින් සත්ය ගවේෂණය සඳහා යොමු කරවීමට එය ම හේතුවක් විය. ඒ අනුව ඔවුහු එකල විසූ ප්රකට ගුරුවරයකු වූ සංජය නමැති පිරිවැජියා ළඟ පැවිදි වූහ.
එතුමාගේ දහම සම්පූර්ණයෙන් ම උගත් ඔවුනට එමගින් විමුක්තිය ලද නොහැකි බව වැටහිණි. ඉන් පසු දෙදෙනා වෙන වෙන ම විමුක්තිය සොයා යාමට තීරණය කර පහත එකඟතාවට පැමිණියහ. එනම්,
මෙසේ සත්යය සොයා ගිය උපතිස්ස පිරිවැජියාට දිනක් රජගහ නුවර දී සන්සුන් ඉඳුරන් ඇති ව වඩින්නා වූ පැවිදි උතුමකු මුණ ගැසුණි. "ආශ්චර්යයකි. මේ නම් ඒකාන්තයෙන් ම රහතන් වහන්සේ නමක් හෝ රහත් මග ගමන් කරන්නකු විය යුතු යැ"යි හෙතෙම සිතී ය. එය පිඬු පිණිස වැඩමවන වේලාව වූ හෙයින් කතා බහ නොකළ යුතු බව සලකා උන් වහන්සේ පසුපසින් ගොස් දන් වළඳන වේලෙහි කළ යුතු උවටැන් සිදු කළ හෙතෙම අවසානයේ දී මෙසේ ඇසී ය:
"ස්වාමීනී, ඔබ වහන්සේගේ ඉන්ද්රිය ඉතා ප්රසන්න ය. කිසියම් විමුක්ති මාර්ගයකට පිළිපන් බවක් දිස් වේ. ඔබ වහන්සේගේ ගුරුවරයා කවරෙක් ද? ඔබ කවර නම් ධර්මයක් රුචි කරන්නේ ද?"
තෙරණුවෝ : "ශාක්යමුනි ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී සිටිති. මම එම බුදුරජාණන් වහන්සේ උදෙසා ගිහි ගෙය හැර දමා පැවිදි වුණෙමි. උන් වහන්සේ මාගේ ශාස්තෘවරයාණන් වහන්සේ ය."
උපතිස්ස පිරිවැජියා : ස්වාමීනී, ඔබ වහන්සේගේ එම ශාස්තෘන් වහන්සේ දේශනා කරන ධර්මය කුමක් ද?
තෙරණුවෝ : යේ ධම්මා හේතුප්පභවා
තේසං හේතුං තථාගතෝ ආහ
තේසඤ්ච යෝ නිරෝධෝ
ඒවං වාදී මහා සමණෝ
යම් ධර්මයක් හේතූන් මුල්කොට උපදී ද, එම හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළහ. එම හේතුව නැති වීමෙන් ඵලයත් නැති වන බව ද වදාළහ. ඒ මහා ශ්රමණයන් වහන්සේ මෙබඳු දේශනාවක් පවත්වති.
රහතන් වහන්සේ නමක් වූ අස්සජී නම් තෙරණුවෝ පස්වග භික්ෂූන්ගෙන් කෙනෙක් වූහ. උන් වහන්සේ මෙසේ කෙටියෙන් දේශනා කළ ධර්මය මැනවින් වටහාගත් උපතිස්ස පිරිවැජියා ගාථාවේ මුල් පද දෙක ඇසීමෙන් ම සෝවන් ඵලයට පත් විය. හෙතෙම පොරොන්දු වූ පරිදි වහා සිය මිතුරු කෝලිත පිරිවැජියා සොයා ගියේ ය. තමා අස්සජී මහරහතන් වහන්සේගෙන් අසා දැන ගත් දහම ඔහුට හෙළි කළේ ය. ඉහත කී ගාථාවෙහි පද සතර ඇසූ කෝලිත පිරිවැජියා ද සෝවන් ඵලයට පත් විය. පිපෙන්නට ආසන්නව තිබූ පියුමකට හිරු එළිය ලැබුණා සේ බොහෝ කල් පැවිදි දම් පුරා තිබූ බැවින් උපතිස්සට මෙන් ම කෝලිතට ද එසේ ධර්මාවබෝධය කළ හැකි විය.
කවදත් ගුරුන් පිදීම තම චරිත ලක්ෂණය වූ බැවින් උපතිස්ස පිරිවැජි තෙමේ කෝලිත පිරිවැජියා ද සමග සිය පැරැණි ආචාර්යවරයා වූ සංජය පිරිවැජියා වෙත එළඹියේ ය. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී නිවන් මග හෙළිකර තිබෙන නිසා උන් වහන්සේ හමුවට යාමට ඔහුට ආරාධනා කළේ ය. එහෙත් ශාස්තෘවරයකු ලෙස සිට ශ්රාවකයකු වීමට ඇති අකැමැත්ත නිසා සංජය පිරිවැජියා එම ඇරයුම ප්රතික්ෂේප කළේ ය. අනතුරුව සංජය පිරිවැජියාගෙන් වෙන් ව තමන් හා එක් වූ දෙසිය පනහක් පමණ වූ පිරිවැජි පිරිස ද සමග උපතිස්ස කෝලිත දෙදෙන බුදුරදුන් වෙත ගොස් පැවිදි උපසම්පදාව ලදහ. පැවිදි වීමෙන් පසු උපතිස්ස පිරිවැජියා සාරි බැමිණියගේ පුත්රයා වූ හෙයින් සාරිපුත්ත තෙරුන් නමින් ද, කෝලිත පිරිවැජියා මොග්ගලී බැමිණියගේ පුත්රයා වූ හෙයින් මොග්ගල්ලාන තෙරුන් නමින් ද ප්රකට විය.
පැවිද්දෙන් දෙසතියකට පසු රජගහ නුවර සූකරඛත ලෙනේ දී බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන් වහන්සේගේ බෑනණුවන් වන "දීඝනඛ" පිරිවැජියාට දේශනා කළ වේදනා පරිග්ගහ සූත්රය අසා සැරියුත් තෙරණුවෝ රහත් වූහ. ඒ වන විට මුගලන් තෙරණුවෝ රහත් භාවයට පත් ව සිටියහ. සැරියුත් මුගලන් දෙනම මෙසේ මහරහත් භාවය ලබා ශ්රාවක පාරමී ඥානය සම්පූර්ණ කළ පසු බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයට භික්ෂූන් වහන්සේලා එක්රැස් කරවූහ. එය ප්රථම සංඝ සන්නිපාතය ලෙස හැඳින්වේ. ඒ නවම් පොහොය දිනක ය. එහි දී සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අගසව් තනතුරු ප්රදානය කෙරිණි.
ඒ දෙනමට අගසව් තනතුරු ප්රදානය කිරීමට හේතුව ද ප්රකාශ කරන ලදි. "මහණෙනි, පංච වග්ගික භික්ෂූහු, යස භික්ෂුව, භද්ර වග්ගික භික්ෂූහු, තුන් බෑ ජටිල භික්ෂූහු යන මේ සියලූ දෙනා ම අනෙකක් පතා ම පින් කළාහු ය. අගසව් තනතුරු නොපැතූහ. එහෙත් සැරියුත් මුගලන් දෙනම අගසව් තනතුරු පතා ම පෙරුම් පිරූහ." යි අගසව් දෙනමගේ අතීත ප්රවෘත්ති ගෙන හැර දැක්වූහ. සැරියුත් තෙරණුවන් ප්රඥාවන්තයින් අතර ද මුගලන් තෙරණුවන් ඍද්ධිමතුන් අතර ද අග්රස්ථානයට පත් කරනු ලැබූහ. ධර්ම සේනාධිපති තනතුර ලැබුණේ ද සැරියුත් තෙරුන් වහන්සේට ය.
සැරියුත් තෙරුන් වහන්සේගේ ධර්ම දේශනා හැකියාව බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල දී ඛෙහෙවින් අගය කොට ඇත. "මහණෙනි චතුරාර්ය සත්යය විස්තරාත්මකව දේශනා කරන්නට, ඉතා හොඳින් විග්රහ කරන්නට සැරියුත් බෙහෙවින් සමත් ය" යන දේශනාවෙන් එය මනා ව පැහැදිලි වේ.
සැරියුත් මහ තෙරුන් වහන්සේගේ විශිෂ්ට වූ ගුණ සමුදාය අතර අසීමිත ගුරු ගෞරවය ද සැමගේ නිති පැසසුමට ලක් වූවකි. තමන්ට නිවන් මග පෙන්වා දුන් අස්සජී මහරහත් තෙරණුවන් සිටි දිශාවට දිනකට තෙවරක් නමස්කාර කළ උන් වහන්සේ එදෙසට හිස ලා සැතපුණු බව ද සාරිපුත්ත අපදානයෙහි දැක්වෙයි.
එසේ ම කුඩා සාමණේර නමක් පෙන්වා දෙන අඩුපාඩුවක් වුව ද පිළිගැනීමට තරම් සැරියුත් තෙරණුවෝ නිහතමානි වූහ. දිනක් උන් වහන්සේ විහාර මළුවේ සක්මන් කරමින් සිටින අතරතුර නොදැනුවත් ව ම සිවුරේ එක් කොනක් පහතට එල්ලෙමින් බිම ගෑවෙනු සත් හැවිරිදි සාමණේර නමක් දුටුවේ ය. සාමණේර නම එය පෙන්වා දුන් කල්හි සැරියුත් තෙරණුවෝ එම අවවාදය නිහතමානි ව පිළිගෙන සිය සිවුර සකස් කර ගනිමින් බුදුරදුන් වැඩසිටි දිශාවට දොහොත් මුදුන් දී නමස්කාර කළහ.
අගසව් සැරියුත් තෙරණුවෝ තමන් සතු කාර්යයභාරය පිළිබඳ මනා අවබෝධයකින් ක්රියා කළහ; නොමගට යොමු ව සිටි බොහෝ දෙනකු සුමගට යොමු කළහ. දෙව්දත් තෙරුන් සංඝ භේදය කොට භික්ෂු කණ්ඩායමක් රැගෙන ගයා ශීර්ෂයට ගිය අවස්ථාවේ දී සැරියුත් මුගලන් අගසව් දෙනම මුල් වී එම පිරිසට කරුණු පහදා දී බුදුරදුන් වෙත නැවත කැඳවාගෙන ඒම උදාහරණයක් ලෙස දැක්විය හැකි ය. සැරියුත් තෙරණුවෝ පිරිනිවන් පෑමට ආසන්න අවස්ථාවේ දී සිය මෑණියන් වූ මිසදිටුගත් සාරි බැමිණියට නිවන් මග කියා දී සෝවන් ඵලයෙහි පිහිටවූහ. උන් වහන්සේගේ පිරිනිවන් පෑම ද එදින ම සිදු වූ බව සඳහන් වේ. සැරියුත් තෙරුන්ගේ විශිෂ්ට ගුණ වර්ණනා කළ බුදුරජාණන් වහන්සේ, උන් වහන්සේගේ ආදාහනයෙන් පසු ධාතු නිධන් කොට සෑයක් කරවීමට ද අනුදැන වදාළහ.
මුගලන් මහරහතන් වහන්සේ ද සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථීතිය සඳහා තම වගකීම් සම්භාරය පිළිබඳ මනා අවබෝධයකින් යුක්ත ව කැපවීමකින් ක්රියා කළ පරමාදර්ශී රහතන් වහන්සේ නමකි. ඍද්ධි බලය යොදා ගනිමින් උන් වහන්සේ සිදු කළ පරමාදර්ශී කාර්යයන් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.
සිය ඍද්ධි බලය අනිසි ලෙස නොයෙදූ මුගලන් මහරහතන් වහන්සේ ධර්ම දේශනා ශ්රවණය කළ බුදුරජාණන් වහන්සේ ඒවා ඛෙහෙවින් ම අගය කළ අවස්ථා ද සූත්ර පිටකයේ හමුවෙයි.
මුගලන් මහ රහතන් වහන්සේ ස්වකීය ඍද්ධි බලය ද යොදා ගනිමින් ධර්මය දේශනා කිරීම නිසා බොහෝ දෙනා රත්නත්රයෙහි ප්රසාදය ද ධර්මාවබෝධය ද උපදවා ගත්හ. එනිසා ම අන්ය තීර්ථකයෝ මුගලන් මහ තෙරුන් වහන්සේ කෙරෙහි දැඩි වෛරයකින් පසු වූහ. උන් වහන්සේ ඝාතනය කිරීමට ද කුමන්ත්රණය කළහ. පළමු හා දෙවැනි කුමන්ත්රණවල දී උන් වහන්සේ ඍද්ධි බලයෙන් සියල්ල මැඩ පැවැත්වීමට සමත් වූහ. එහෙත් තෙවැනි වර සොරුන් වැටලු අවස්ථාවේ දී පෙර අත් භවයක දෙමාපියන් මැරීමේ පාප කර්මයෙහි විපාකය නොවැළැක්විය හැකි සේ තමා කරා එළඹ ඇති බව දැන නිසල ව හුන්හ. සොරු තළා පෙළා උන් වහන්සේ මළහ යි, සිතා පිටත් ව ගියහ. ඍද්ධි බලයෙන් ශරීරය බලගන්වාගෙන බුදුරදුන් වෙත එළඹි මුගලන් මහරහතන් වහන්සේ නොයෙක් ඍද්ධි ප්රාතිහාර්ය පා වැඳ අවසර ගෙන කාලසිලාවට වැඩමවා එහි දී පිරිනිවන් පා වදාළහ.
මෙම අගසව් චරිත දෙකෙන් ඉගෙන ගෙන අපේ චරිතවලට එකතු කර ගත හැකි ගුණාංග අතර පහත සඳහන් ඒවා ද වේ.