භෞතික පරිසරය වූ කලී මනුෂ්ය වර්ගයා සතු උත්තම දායාදයෙකි. මානව වර්ගයාගේ යහ පැවැත්මට අත්යවශ්ය වූ විවිධ ශක්තීන්ගෙන් පිරිපුන්, සැකැස්මෙන් හා ක්රියාකාරීත්වයෙන් විවිධ වූ විචිත්ර වූ එය සොබාදහමෙහි විශ්මිත නිමැවුමකි. මානව ජීවිතය හා සංස්කෘතිය පරිසරය විසින් නන් අයුරින් පෝෂණය කරනු ලැබේ. අප විසින් එය අවශ්යයෙන් ම රැක ගත යුතු ය. ඒ කෙරෙහි බැතිමත් සුහද ආකල්පයක් දැරිය යුතු ය. බුදුරජාණන් වහන්සේ වූ කලී මේ සියල්ල පිළිබඳ ගැඹුරු අවබෝධයකින් ක්රියා කළ ශ්රේෂ්ඨ ශාස්තෘවරයෙකි. උන් වහන්සේ පරිසරය දෙස නිකෙලෙස් ඇසින් බැලු, එයට ඇළුම් කළ, එය රැක ගැන්මට මග පෙන්වූ උතුමෙකැයි කිව යුතු ය.
සැපතක් වූ බුදු උපත සිදු වූයේ පියකරු මල් පලූ පල සහිත තුරුලතාවෙන් සුසැදි ස්වාභාවික පරිසරයෙහි ආශීර්වාදය තුළයි. වායු දූෂණයෙන්, ශබ්ද දූෂණයෙන් හෝ පාංශු දූෂණයෙන් තොර සොඳුරු පරිසරයක උපත ලද බුදුරජාණන් වහන්සේ එතැන් පටන් අසූ හැවිරිදිව පිරිනිවන් පානා තුරු ම එවන් නිකැලැල් පරිසරය ම ප්රිය කළහ. බෝසත් උපත සිදු වූ තැන් පටන් ම එතුමෝ සොබා දහම හා බැඳී සිටියහ. දරු ගැබට දස මස පිරෙන්නට ළංවන විට බෝසත් මවු මහාමායාවෝ කිඹුල්වත් නුවර සිට දෙව්දහ නුවරට යාමට සිතූහ. ඒ දෙමාපියන් හමුවටයි. රෝහිණී නදියෙන් එතෙරව දෙව්දහ නුවරට යන මග සොබා දහමෙහි අසිරියක් වන් ලූම්බිණි සල් උයන පිහිටියේ ය. කැත් කුල කතුන් පිරිවරා ගත් මායා දේවී තොමෝ ඒ අසිරිමත් උයන දුටුවා ය.
ලූම්බිණිය මගුල් සල් උයනෙකි. එදින එහි අතුපතර විහිදගත් ගස් වැල් මුල පටන් අග දක්වා ම සුපිපි සුවඳැති මනහර මලින් ගැවසී තිබිණ. මත් මොණරුන්, කොවුලන්, කෙවිලියන් ආදි විවිධාකාර වූ සියගණන් සුන්දර පක්ෂීන්ගෙන් උයන අතිශය ශෝභමාන විය. ඒ සොඳුරු සියොතුන්ගේ ඉමිහිරි සිහින් ගී හඬ ගස් වැල් අතරින් පෙදෙස සිසාරා පැතිර ගියේ ය. මල් ගොමු පිස හමාගිය සුවඳවත් සිහින් මඳ සුළඟ සිත් සතුටු කළේ ය. මල් රොන් ගනිමින් ඔබ මොබ පියාඹන නිල්වන් බඹරු ගුමු ගුමු නද පැතිර වූහ. ඒ අසිරිමත් පරිසරය දුටු මායා දේවී තොමෝ ලූම්බිණි උයනට පිවිසුණා ය.
සියවස් විසිපහකටත් අධික කාලයක් තිස්සේ මානව චින්තනය හරවත් කෙරෙමින් විවිධ අතුපතර විහිදුවා වැඩුණු ඒ ශ්රේෂ්ඨත ම ධර්ම මාර්ගය ලොවට බිහි කළ පරම පූජනීය අසමසම මහෝත්තමයකු එදා උපන්නේ සොබා දහමෙහි අසිරිමත් බවින් ඔකඳ වූ ඒ පරම විචිත්ර ලූම්බිණි උයනෙහි ය. ඒ සොඳුරු තුරුලතාවන් අතර ය. සල්ගසක් යට ය. මගුල් සල් රුක් සෙවණෙහි ය. අදූෂිත වූ වටාපිටාවෙක ය.
සත්යය සොයාගිය සිදුහත් බෝසතුන් දුෂ්කර ක්රියාවෙන් හා ගුරුන් හමුවීමෙන් ද අනතුරුව මාර පරාජය කොට සම්මා සම්බුදු බවට පත් වූයේ ද, මෙලෙසින් ම අදූෂිත සුන්දර සොබාදහම ඇසුරු කොටගෙන ය. පසු ව සිය අතීතය සිහිපත් කළ බුදුරජාණන් වහන්සේගේ ම වදනින් ඒ සොඳුරු පරිසරය මෙසේ සටහන් කරමු.
"මහණෙනි, ඒ මම කුසලය කුමක් දැයි සොයන සුළු වූයෙමි, අනුත්තර වූ උතුම් නිවන් පදය ම සොයමින් පිළිවෙළින් සැරිසරන්නෙම්, උරුවේලායෙහි සේනානි ග්රාමය කරා පැමිණියෙමි. එහි සිත්කළු භූමි භාගය ද, සිත් පහදවන වන ලැහැබ ද, වැලිතලා සහිත මනා කොට ඇති ගලා බස්නා නදිය ද හාත්පස ගොදුරු ගම ද දිටිමි." මහණෙනි ඒ මට මේ අදහස විය. මේ භූමි භාගය රමණීය ය. වන ලැහැබ ප්රසාද ජනක ය. සුදු වැලිතලා ඇති සිත්කලූ නදිය ද ගලා බස්නී ය. හාත්පස ගොදුරු ගම ද වෙයි. ප්රධන් වීර්යය වඩනු කැමැති කෙනකුට ඒ සඳහා මෙය සුදුසු ම ය. මහණෙනි මම ප්රධන් වීර්යය පිණිස එහි (බෝමැඩ) ම හුන්නෙමි.
බෝසතාණන් වහන්සේ සේනානි නියම් ගමෙහි සුපිපි අජපල් නුගරුක් සෙවණේ වැඩ සිටිය දී සුජාතාවගේ කිරිපිඬු දානය පිළිගත් සේක් නේරංජරා නදී තීරය ට වැඩම කළහ. එහි රිදී කඳක් සේ දිලෙමින් ගලා ගිය පැහැබර සුපිරිසිදු දියට බැස්සෝ ය. පැන් සැනසූහ. නැවත ගෙඟන් ගොඩ පැමිණි සේක් කිරිපිඬු වැළඳූහ. ඒකාන්තයෙන් ම අදම බුදුවගත හෙම් නම් මේ තලිය උඩුගං බලා යේවයි දන් වැළඳූ රන් තලිය (පාත්රය) ගඟ දියට දැමූහ. සිතු පරිදිම තලිය උඩුගං බලා ගියේ ය. ඒ උඩුගං බලා යන (පටිසෝතගාමි) දහමක් ලොව උපදනා බවට පෙරනිමිත්තක් වැන්න. ඉක්බිති උන් වහන්සේ නේරංජරා ගංතෙර පිහිටි වනයට දිවා විහරණය පිණිස වැඩම කළහ. ඒ වූ කලී සල් වනයෙකි. ශෝභමාන සුවඳවත් කුසුමින් ද නිල්වන් පත්රයෙන් ද සැදුම් ලත් උස් වූ අතුපතර විහිද ගිය
සල් ගස් සෙවණ උන් වහන්සේට පිහිට විය. එදින ම සවස භද්ර වනයෙන් බැහැර වූ බෝධි සත්ත්වයන් වහන්සේ ඇසතු වෘක්ෂය වෙත ළඟා වූහ. අපරාජිත පර්යංකයෙන් එහි වැඩ සිටියහ. මේ සුන්දර වූ පරිසරයෙහි ම ලෝකයේ අසම සම කරුණා නිධාන වූ ප්රඥා සාගර වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පහළ වූහ. මාර පරාජය කොට බුද්ධත්වය ලදහ.
තුරුලතාවන් සහිත සුන්දර පරිසරයෙක ඉපිද, එබඳුම අති සුන්දර වූ පරිසරයෙක බුදුබව ලත් සිද්ධාර්ථ ගෞතම ශාක්ය මුනින්ද්රයාණන් වහන්සේ වූ කලී සොබා දහමට පූජනීයත්වයක් දීමට සමත් වූ ශාස්තෘවරයෙකි. ඒ ඇසතු රුක බෝ රුක බවට පත් විය. එය බෝධීන් වහන්සේ ලෙස ජනතාවගේ පූජා ලබයි.
පන්සාලිස් වසක් වූ ගෞතම බුදුරදුන්ගේ ජීවිතය නිරතුරු ව ම සොබා දහම ඇසුරෙහි ගෙවී ගියේ වෙයි. උන් වහන්සේ බොහෝ විට දහම් දෙසා ඇත්තේ ද දිවා රාත්රි දෙක ගත කොට ඇත්තේ ද නිසල සුන්දර වන පියෙසිවල ය; විවේකී සොඳුරු ගංඟා තීරවල ය; එසේ නැත්නම් පර්වත, මිටියාවත්වල ය; කෙත්යායවල ය. පාලි නිකාය ග්රන්ථවල නිබඳව ම මීට නිදසුන් ලැඛෙයි. ඉන් අවස්ථා කිහිපයක් පමණක් මෙසේ දැක්විය හැකි ය.
මංගල ධර්ම දේශනාව නම් වූ දම්සක් පැවතුම් සූත්රය දේශනා කරන ලද්දේ බරණැස ඉසිපතන මිගදායේ දී ය. එය මුවන්ට අභය දානය දුන් වන පියසෙකි. ඉච්ඡානංගල නම් බමුණු ගම අසල නිසල සුන්දර වන ලැහැබක වැඩ සිටිමින් අම්බට්ඨ නම් තරුණයකුට අම්බට්ඨ සූත්රය දේශනා කරන ලදි. කොසොල් රට මනසාටක නම් බමුණු ගමට උතුරු දිගින් අචිරවතී නදී තෙර අඹ වනයෙක දී තේවිජ්ජ සූත්රය දේශනා කරන ලදි. සැරියුත් මහ තෙරුන් අමතා මහා සීහනාද සූත්රය වදාළේ විශාලා නුවර අසල වන පියසක දී ය. ලෙහෙනුන්ට අභය දානය දුන් බැවින් කලන්දක නිවාප නම් වූ සොඳුරු වනයක දී මහා මොග්ගල්ලාන සූත්රය දේශනා කර තිබේ. ආයුෂ්මත් අනුරුද්ධ, කිම්බිල, නන්දිය යන සුවච ශ්රාවක භික්ෂූන් වැඩ සිටි ගෝසිංග නම් සාල වනයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ එහි දී එම ස්වාමීන් වහන්සේගේ සුවදුක් විමසා සතුටුව දහම් දෙසූහ.
විටෙක මහ වනයෙහි එකලාව හුන් බුදුරදුන් වෙත පැමිණි දේවතාවෙක් උන් වහන්සේට පැවසූ වදනක මෙසේ දැක්වෙයි.
ඒ වනගත සොබාවික පරිසරය දෙවියනට බිය ඉපිද වූ නමුදු බුදුරදුනට සතුටක් ම විය. පූර්වෝක්ත පරිදි එදා බුදුරදුන් දුන් ආදර්ශ තුළින් සොබාවික පරිසරයේ අසිරිය දුටු පැවිද්දෝ එහි බැතිමත් වූහ. ඒ වන සෙනසුන් ඇසුරෙහි ය.
පන්සාලිස් වසක් මුළුල්ලේ සුන්දර නිසල පරිසරය තුළ ම වැඩ වසමින් දහම් දෙසූ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළේ ද පියකරු තුරුලතාවන්ගෙන් සුසැදි වටාපිටාවක් තුළ ය. මහා පරිනිර්වාණ සූත්රය අනුව අවසන් චාරිකාව නිම කරමින් අවසන් වස් කාලය ද ගෙවා දමමින් හිරණ්යවතී ගංගාවෙන් එතෙර වූ බුදුරජාණන් වහන්සේ කුසිනාරා පුරයට වැඩි සේක. මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයන උන් වහන්සේ විසින් පරිනිර්වාණය සඳහා තෝරා ගැනුණි. එය රජුන් විසින් ඉතා මැනවින් සකසන ලද පරිසරයකින් යුක්ත විය. සුවිසල් සල් රුක් පෙළින් සෝබමාන විය. පිපී ගිය සල්මලින් සුවඳවත් විය. එහි සල් රුක් දෙකක් අතුරෙහි පනවා තිබූ යහනක සිංහ සෙයියාවෙන් සැතපුණු බුදුරජාණන් වහන්සේ සියලූ සංස්කාර ධර්මයන්ගේ අනිත්යතාව තම ජීවිතයෙන් ම පෙන්වා දෙමින් පිරිනිවන් පා වදාළ සේක.
පරිසරය මිනිසා ආරක්ෂා කරයි; පෝෂණය කරයි, වායු දූෂණයෙන්, ජල දූෂණයෙන්, ශබ්ද දූෂණයෙන් හා පාංශු දූෂණයෙන් ද තොර ස්වාභාවිකත්වය සුරැකෙන භෞතික පරිසරය නම් මනුෂ්ය වර්ගයා සතු උත්තම දායාදයකි. එබැවින් එය රැකගැනීම පිණිස හැකි සෑම අයුරකින්ම ක්රියාකිරීම අත්යවශ්ය කරුණකි. බුදුරදුන් වදාළ ධර්ම විනයෙහි පරිසර සංරක්ෂණය පිණිස අගය කළ යුතු ආදර්ශ හා උපදේශ රැසක් දක්නට ලැබෙන්නේ ය. තුරුලතා සම්බන්ධයෙන් කළ දේශනා එහි ප්රධාන තැනක් ගනී.
භෞතික පරිසරයෙහි සමතුලිත බව රකින සුන්දරත්වය ඔප් නංවන සත්ත්වයන්ගේ ජීවනාලිය වන ගස් වැල් වැවීම මහා පින්කමකැයි බුදු දහම උගන්වයි. කවරකුට නම් දිවා රාත්රි පින් වැඩේ ද? දහම් හි පිහිටි සිල්වත් වූ කවරෙක් නම් සුගතියට යෙත් දැයි දේවතාවකු ඇසූ කල්හි බුදුරදුන් දුන් පිළිතුර පරිසර සංරක්ෂණයට ද පෝෂණයට ද අනුබල දෙන්නකි. "යමෙක් මල් පල උයන්වතු වවන්නේ ද, පියෙවි වන වගා කෙරේ ද, ඒ දඬු පාලම් පැන්හල් පොකුණු ආවාස තනාදෙයි ද ඔවුනට නිති දිවා රැය පින් වැඩේ. දහම් හි පිහිටි සිල්වත් වූ ඔවුහු සුගතියට යෙත්."
තුරුලතාවන් වැනසීමත් ඒවාට හානි සිදු කිරීමත් උපසපන් භික්ෂුවකට විනයෙන් ම තහනම් වෙයි. අලව් නුවර වැසි භික්ෂූන් නව විහාර කර්මාන්තාදියට ඉඩ සලසාගනු පිණිස වෘක්ෂලතාදිය සිඳ දැමීම එම තහනම් නීතිය පැනවීමට හේතු විය. දෙවියෝ ද මිනිස්සු ද ගස් වැල් නැසූ ඒ භික්ෂූන්ට දොස් නැගූහ. එම පුවත ඇසූ බුදුරජාණන් වහන්සේ ගස්වැල් කැපීමෙන් වළකින ලෙසට භික්ෂූන් වහන්සේට දේශනා කළහ.
භික්ෂූන් වහන්සේ වූ කලි පරමාදර්ශී ජීවිතයක් ගත කළ යුත්තෙකි. උන් වහන්සේට අදාළ වූ වස් විසීම පිළිබඳ ශික්ෂාව ද විනයට එක් කරන ලද්දේ තණකොළ ආදි කුඩා ශාකයක් වුව ද ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාව ඇති ව ය. කුඩා ශාකය වුව ද අනිසි ලෙස නොපෙළිය යුතු යැයි සලකා ගැන්මෙනි. වැසි සමය පොළවෙහි නව දළු ලමින් තණකොළ වැඩෙයි. එකල්හි භික්ෂූහු ඒවා පයින් මැඩලමින් චාරිකාවෙහි හැසිරෙත්. මේ දුටු මිනිස්සු චෝදනා කළහ. එපවත් ඇසූ බුදුරජාණන් වහන්සේ 'වැසි සමයෙහි (චාරිකා නොකොට) වස් එළඹීමට අනුදනිමි'යි පැනවූහ.
ජාතක පාලියට අනුව කිසියම් ගසෙක සෙවණ හිඳ ගැන්මට හෝ නිදා ගැන්මට යොදාගත්, එම ගසෙහි පිහිට ලද තැනැත්තකු විසින් එහි අත්තක් කඩා දැමීම අකෘතඥ වීමකි. තමාට සෙවණ දුන් ඒ ගසට හානි කිරීම ගුණමකු වීමකි. මිත්ර ද්රෝහි වීමකි. එමගින් අදහස් වන්නේ මිනිසා තමාට පිහිට වන පරිසරයෙහි ගස් වැල්වලට පවා හානි නොකළ යුතු බව පමණක් නොවේ. ඒවා රක්ෂණය පෝෂණය කළ යුතු බව ය. එය ගුණ ගරුක පුද්ගලයාගේ ස්වභාවයයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට සෙවණ දුන් බෝධි වෘක්ෂයට ගරු කළහ.
තුරුලතාවෝ නන් අයුරින් මිනිසුනට පිහිට වෙති. ගස් පල දරන්නේ පරෝපකාරය පිණිස යැයි පැරැන්නෝ පැවසූහ. වැස්ස, ගස්වැල්, පොළව, වාතය ආදි පාරිසරික සාධකයෝ ජාලයක් මෙන් එකිනෙකට සම්බන්ධ ව, එකිනෙකට උපකාරී ව පවත්නෝ ය. පරිසරයේ සමතුලිත බව පිණිස මෙම සාධක සියල්ල නිසි ලෙස පැවතිය යුතු ය; සුරක්ෂිත ද විය යුතු ය; පෝෂණය විය යුතු ය. තුරුලතාවන් මෙන් ම මෙකී සියලූ සාධක පරෝපකාරී ය. මනුෂ්ය වර්ගයාගේ ජීවනයට හා පැවැත්මට සම්බන්ධ ය. පාරිසරික සාධකයක් වූ ගස් වැල් මිනිසාට කුමන යහපතක් කරන්නේ දැයි පසුකාලීන බෞද්ධ ග්රන්ථයක් වූ මිලින්ද පඤ්හය මෙසේ සඳහන් කරයි.
ඉහත සඳහන් කරුණු අනුව තුරුලතාවන් රක්ෂණය, පෝෂණය කිරීම මිනිසාට අතිශය පලදායක වූ පරිසර සංවර්ධනයක් වන්නේ ය. එබැවින් තුරුලතාවන්ට භක්තිමත් වීම ද ඒවා රැකගැන්ම ද පිණිස බුදු සමය මග පෙන්වයි. පාචිත්තිය පාලියට අනුව තණ නිල්ලක් අපිරිසිදු කිරීම ඇවතක් වෙයි. නිල්වන් තණකොළ මත මළ මුත්ර හෙළීම, කුණුරොඩු ආදිය දැමීම, ඉඳුල් ආදිය හෙළීම, නොකළ යුතු යැයි එයින් කියැවේ. මෙයින් පැහැදිලි වන්නේ විවිධාකාරයෙන් පරිසර දූෂණය වනු දැකීම බුදුරදුන් නොඉවසූ බව ය. සුන්දරික භාරද්වාජ නම් ගොවි බමුණකු විසින් තමන් වහන්සේ වෙත පුදන ලද පිළිගත නොහැකි ආහාරයක් ප්රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ එය සප්රාණි වූ නිල් තණ නැති ස්ථානයෙක හෝ ප්රාණීන්ගෙන් තොර ජලයෙහි හෝ බහාලන්නැයි අවවාද කළහ.
ලෝකයෙහි උපන් ගුණ නුවණින් අගතැන්පත් උත්තරීතර මනුෂ්යයා වූ අප බුදුරජාණන් වහන්සේගේ අවවාදය ගරු කරන, ආදර්ශය පිළිගන්නා දූ පුතුන් වශයෙන් අප ද තුරුලතාවලට මිත්රශීලී ව, සුහද ව සැලකීමට ක්රියා කළ යුතු ය. තුරුලතාවන් මිනිසාට කරන මෙහෙවර තේරුම් ගත යුතු ය. තුරුලතාවන් ඇසුරෙහි ජීවත් වෙමින් එයින් ලැබෙන නිදහස, සතුට හා සෞන්දර්යය තුළින් පෝෂණය ලැබිය යුතු ය. විශේෂයෙන් ම තුරුලතාවන් රක්ෂණය, පෝෂණය කිරීමට මෙන් ම ඒවා ඇසුරෙහි ආධ්යාත්මික සුවය සොයා යාමට ද අපට ක්රියා කළ හැකි ය. තම උපන් දිනය වැනි සිහි කටයුතු දිනවල පැළයක් රෝපණය කර එය රැක ගැනීම පෝෂණය කිරීම ආදිය ඇතුළත් වැඩ සටහන් පෞද්ගලිකවත්, සාමූහිකවත් අපට කළ හැකි නම් එය ඛෙහෙවින් ම ආදර්ශ සම්පන්න වනු ඇත.