මානවයා ජීවිතයේ දී විවිධාකාර උත්සව පැවැත්වීම සහ සැමරීම සිදු කරයි. එබඳු උත්සව දෙයාකාර වේ. ජීවිතයේ වැදගත් අවස්ථා සමරමින් පවත්වනු ලබන ජීවන සංක්‍රාන්ති උත්සව සහ සමාජයක ජන කොට්ඨාසයක් ලෙස එම සමාජයට අනුගතව සමරනු ලබන උත්සව යනු ඒ දෙවර්ගය යි. අලූත් අවුරුදු උත්සවය මේ අතරින් දෙවන වර්ගයට අයත් ය.
ලොව සම්මත අලූත් අවුරුද්ද වන්නේ දින දර්ශනය පටන් ගැනෙන පළමු වැනි දිනය වන ජනවාරි පළමු වැනිදා යි. බොහෝ පෙරදිග සහ අපරදිග රටවල මේ දිනය උත්සවශ්‍රීයෙන් සමරනු ලැබේ. අස්වනු කපා පාගා එම අලූත් අස්වැන්න ලැබීමේ ප්‍රීතිය නිමිත්තෙන් හා අස්වනු සරු කළ බලවේගයන්ට ස්තුති කිරීම පිණිස අතීතයේ සිට මේ උත්සවය පවත්වා ඇත.
ශ්‍රී ලංකාවේ අලූත් අවුරුදු උත්සවය යෙදෙනුයේ බක් හෙවත් අප්රේල් මාසයේ දී ය. සිංහල මෙන් ම දෙමළ ජනයා ද ඔවුන්ට අනන්‍ය චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් මේ උත්සවය සමරති. මෙහි ඇති විශේෂත්වය වන්නේ දේශීය අනන්‍යතාව පිළිබිඹු වන චාරිත්‍ර මෙන් ම වෙනත් සංස්කෘති නියෝජනය කරන සංස්කෘතිකාංග ආශ්‍රය කර ගැනීමෙන් නිර්මාණය වූ චාරිත්‍ර වාරිත්‍ර ද දක්නට ලැබීම යි.
අවුරුදු නිවාඩුව උදා විය. තෙමසක් පමණ පාසලේ කටයුතු කෙරෙහි යොමු වූ සිත දැන් ගම්මානය පුරා ඇති නොයෙක් දේවල් දෙසට විසිරෙන්නට පටන් ගෙන ඇත. නිවසට යාබදව පිහිටි වෙල්යාය අද්දරට ගිය මට දැක ගත හැකි වූයේ ඉපනැල්ල යි. ගොයම් කපා, පාගා අස්වනු නිවෙස්වලට ගත් පසු වෙල්යාය අපේ කෙළිබිම වෙයි. අවුරුදු කාලයට අප එල්ලේ ක්‍රීඩා කරන්නේ මේ වෙල් එළියේ ය. කමත අද්දර උසට වැඩී තිබුණු එරබොදු ගස් රත් පැහැ මලින් සැරසී සාඩම්බර ලීලාවක් පෙන්වයි. ගම්මානයේ ගෙවතු සහ අසල කැලෑ රොදවල වැවී තිබුණු මී අඹ, කජු, පේර ආදි ගස් පලබර වී තිබෙන්නේ ගමේ කොලූ කුරුට්ටන්ටත් ලේනුන් සහ නොයෙක් කුරුල්ලන්ටත් අවුරුදු සංග්‍රහය කිරීමට මෙනි. ඒ නිසා අවුරුදු කාලයට මේ සියලූ දෙනාගේ ම ගත සිත ප්‍රීතියෙන් පිනා යයි. පලබර වූ ගස්වල සංග්‍රහය භුක්ති විඳින සතුන් සහ පක්ෂීන්ගේ ප්‍රීති නාදය අතරින් මෙකල අපගේ කනට නිතර ඇසෙන්නේ කොහාගේ නාදය යි. මෙවැනි සිතිවිලි දාමයක පැටලී හුන් මම නිවස දෙසින් ඇසුණු අම්මාගේ හඬින් අවදි වූයෙමි.
"පුතා, මෙහෙ එන්න. අද ගොඩක් වැඩ තියෙනවා. පරණ අවුරුද්දට නාන්නයි වැඩ අත් හරින්නයි තියෙන්නෙත් අදයි. වැඩ අත් හරින වෙලාව වෙන කොට සේරම වැඩ ඉවර කර ගන්න ඕනෑ."
ඒ ඇමතුමෙන් මා නිවසට දුවන විට සීයා පඤ්චාංග ලිත බලමින් සිටියේ ය. අම්මා සහ තාත්තා නිවස අස් පස් කරමින් සිටියහ. අම්මාට උදවු කිරීමේ අදහසින් දුවගෙන ආවත් සීයා ළඟ නතර වූ මම සීයාගෙන් මිහිරි කතා වැලක් ඇසීමට මුල පිරුවෙමි.
"සීයේ, හැම අවුරුද්දක ම සීයා අවුරුදු කාලෙට ඔය ලිත බලනවා. ඇත්තට ම සීයේ ඔය ලිතේ තියෙන්නේ මොනවා ද?"
"මේ ලිතේ වැදගත් දේවල් ගොඩක් තියෙනවා පුතේ. ඒවායිනුත් වැඩියෙන් ම වැදගත් වෙන්නේ අවුරුදු සිරිත් විරිත් කරන නැකැත් වේලාවලූයි. බලන්න මේ තියෙන්නේ ඒ නැකැත්. නව සඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය, අලූත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම. අන්තිමට තියෙන්නේ රැකී රක්ෂා සඳහා පිට වී යෑමේ නැකත යි.” සීයා ඉතා වුවමනාවෙන් පිළිතුරු දුන්නේ ය.
"සීයේ, අලූත් අවුරුද්ද උදා වෙන්නෙ කීයට ද?" මම ඒ ගැන විමසිලිමත් වුණෙමි.
"හෙට උදේ දහයයි විසි තුනට තමයි අලූත් අවුරුදු උදාව සිද්ධ වෙන්නෙ." සීයා පිළිතුරු දුන්නේ ය.
"එතකොට අද?"
"අද පරණ අවුරුද්ද. මේ අවුරුද්ද ඉවර වෙන්නේ අදයි. අද හවස දෙකයි හතළිස් එක වෙන කොට මේ අවුරුද්දෙ වැඩ ඉවර කරන්න ඕන. ඒකට කියන්නේ වැඩ අත් හරිනවා කියලයි. ඒ වගේම තමයි පුතේ පරණ අවුරුද්ද වෙනුවෙන් නාන්නෙත් අදයි."
මම සැලකිල්ලෙන් ලිත දෙස බැලූවෙමි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය.
අප්රේල් දහතුන් වැනි බදාදා නුගපත් මිශ්‍ර නානු ගා පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම මැනවි.
"සීයේ, මේ ලිතේ තියෙන නානු කියන්නේ මොනවා ද?"
සීයාගේ මුවග සිහින් සිනාවක් ඇඳිණි.
"නානු කියන්නේ පුතේ ගස්වල කොළ කොටලා ඒවායින් මිරිකා ගන්න යුෂ. මේ නානු විදියට ගන්න හැම ශාකයක ම මොකක් හරි ඖෂධීය වටිනාකමක් තියෙනවා." සීයා තවත් කරුණු පැහැදිලි කළේ ය.
"අද නෑවා ම ආයේ නාන්න තියෙන්නේ තව දවස් දෙකකින්. ඒ ලබන පහළොස් වෙනිදා. ඉස්සර කාලේ ඒ දවසට කිව්වෙ ඉස තෙල් ගාන අවුරුද්ද කියලයි."
"ඔව්, ඔව්, මට මතකයි ගිය අවුරුද්දෙත් අපට වෙද සීයා හිස තෙල් ගෑවා. කළු කපුටා සුදු වෙන තුරු මෝල් ගහේ දලූ ලන තුරු එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩායිබෝ කියලා තමයි වෙද සීයා ඉස තෙල් ගෑවෙ." මම මතකය අවදි කළෙමි.
"පුතේ, මේ ඉස තෙල් ගෑම වැදගත් අවුරුදු චාරිත්‍රයක්. මේ කටයුත්ත සිදු වුණේ පන්සලේ හාමුදුරුවෝ, ගමේ වෙද මහත්තයා එහෙමත් නැත්නම් ලොකු ඉස්කෝලෙ මහත්තයා අතින්. සමහර පළාත්වල මේ සිරිත පටන් ගන්නෙ විහාරගෙයි බුදු පිළිමය ඉස්සරහට කණ්ණාඩියක් අල්ලලා ඒ ඡායාවෙ හිසට තෙල් ගෑමෙනුයි. ඒ වෙලාවට පන්සලේ වෙඩිල්ලක් පත්තු වෙනවා. එතකොට ගමේ උදවිය දන්නවා දැන් තෙල් ගාන නැකතයි මේ උදා වුණේ කියලා." වඩා රසබර වෙමින් සීයාගේ හඬ ගලා ගියේ ය.
"සීයේ නොනගතයට පන්සල් යෑම කියල මේ ලිතේ තියෙන්නේ?" මම මගේ ගැටලූව ඉදිරිපත් කළෙමි.
"නොනගතය කියන්නෙ පුතේ නැකත් නැති වෙලාව. ඒක පරණ අවුරුද්දට අයිතිත් නෑ. අලූත් අවුරුද්දට අයිතිත් නෑ. මේ දෙකට ම නැති වෙලාවක් නිසා ඒ වෙලාව වඩා පරිස්සම් විය යුතු කාලයක් විදියට සලකලා තමයි ගමේ මිනිස්සු ඒ වෙලාවට පන්සල් ගියේ. ඉස්සර අපේ අම්මලා මේ වෙලාවට ළිඳෙන් වතුර ගන්නෙ නෑ. නොනගතේ වෙලාවට පිට ගෙවල්වලට යන්නෙත් නෑ." සීයා තවත් විස්තර ඉදිරිපත් කළේ ය.
"සීයේ අපේ විදුහල්පතිතුමා කතාවක දි කිව්වා අවුරුද්දක් තිස්සේ වැඩ කරලා මිනිස්සුන්ට, ගහ කොළට, ඇළ දොළට ආදි හැම දේට ම අවශ්‍ය විවේකය, විශ්‍රාමය ලැබෙන්නෙ කිසි ම වැඩක නො යෙදෙන මේ නොනගතේ දී කියලා" මම පැවසුවෙමි.
"ඒ කතාව හරියට ම හරි පුතේ. අපි කාටත් විවේකය ඕනෑ. ඒකට හොඳ ම වෙලාව තමයි නොනගතේ" සීයා එකඟ විය.
"සීයේ අලූත් අවුරුද්දෙ මුල් තැන ලැබෙන්නෙ ළිප ගිනි මොළවලා, වැඩ අල්ලලා, ආහාර අනුභව කිරීමට නේද?"
"ඔව් පුතේ, ඉස්සර අපේ ගෙවල්වල අවුරුද්දක් වැඩ ගත්ත ළිප පරණ අවුරුදු දා ගොම මැටි ගාලා නැවත පිළිසකර කරලා ගන්නවා. ඒ ළිපේ අලූත් මුට්ටියක තමයි අවුරුදු කිරිබත හැදෙන්නෙ. මේ කිරිබත උයන්නෙ අලූත් අස්වැන්නෙ හාල්වලින්. ඉතින් මේ කිරිබතයි අම්මලා අත්තම්මලා එකතු වෙලා හදපු එක එක විදියෙ රස කැවිලියි පිරුණ අවුරුදු කෑම මේසේ ඉඳන්, අලූත් ඇඳුම් ඇඳගෙන නැකතට ආහාර අනුභව කරනවා." සීයා විස්තර කළේ ය.
"සීයේ ආහාර අනුභව කරන්න කලින් වැඩ අල්ලනවා නේද? ගිය අවුරුද්දේ සීයා ඒ වේලාවේ අර අඹ පැළේ හිටෙව්වා මට මතකයි"
"ආහාර අනුභව කරන නැකතයි, වැඩ අල්ලන නැකතයි, ගනුදෙනු කරන නැකතයි එකම වෙලාවක්. ඉතින් පුතේ බොහොම දෙනෙක් වැඩ අල්ලලා තමයි අනෙක් වැඩ කරන්නෙ."
"සීයේ මේ වැඩ ඉවර වුණා ම අපි වැඩිහිටියන්ට බුලත් දීලා වඳිනවා නේද? එහෙම කරන්නෙ අලූත් අවුරුද්දට ආශීර්වාද ලබා ගන්න ද?" මම මගේ ගැටලූව ඉදිරිපත් කළෙමි.
"ආශීර්වාදය වගේ ම පුතේ, තව දෙයක් තියෙනවා. තමන් අතින් යම් වැඩිහිටියකුට වරදක් සිද්ධවෙලා තියනවා නම් ඊට සමාව ගන්නෙත් බුලත් අතක් දීමෙන්. ඉස්සර කාලෙ අපේ ගම්වල මිනිස්සු අතරෙ මොන මොන තරහ මරහ තිබුණත් අවුරුදු දාට ගෙදරට ඇවිත්, බුලත් අතක් දීලා වැඳලා, එකට කෑම බීම අරගෙන ඒ තරහ මරහ ඉවර කරනවා." සීයා පැහැදිලි කළේ ය.
"හරි ම හොඳයි නෙ සීයේ ඒ වැඩේ. ඒක නෙමෙයි සීයේ ගිය අවුරුදුවල මට මතකයි, ආහාර අනුභව කරලා එහෙම අත්තම්මා ළිඳ ළඟට ගිහින් මොනවා දෝ කළා, ඒ මොකක් ද සීයේ?" සීයාගේ මුවට යළිත් සිනහවක් නැගිණි.
"පුතේ, අත්තම්මා ඒ කළේ ගනුදෙනුවක්, ඒ ළිඳ එක්ක යි. අත්තම්මා ළිඳට ගිහින් වතුර ගන්න කලින් ළිඳට යම් දෙයක් දානවා. ඒකේ තියනවා තඹ කාසියක්, කහ කෑල්ලක්, සමන් පිච්ච මලක්, අඟුරු කෑල්ලක්, කිරිබත් ටිකක් එහෙම. ඒක දාලා තමයි අවුරුද්දෙ පළමුවෙනි වතුර භාජනය පුරවන්නෙ. ඒ වතුර භාජනය ගෙදර අරන් ගිහින් තියනවා. ඊළඟ අවුරුද්දට භාජනය අරන් ඒකේ වතුර අඩු වෙලා ද නැද්ද බලනවා. වතුර අඩු වෙලා නම් අසුබ ලකුණක් විදියටත් වතුර සම්පූර්ණයෙන් ම තියෙනවා නම් සුබ නිමිත්තක් ලෙසත් සලකනවා." සීයා දිග විස්තරයක් කළේ ය.
"සීයේ එතකොට අවුරුද්දට කරන සෙල්ලම්?" මම විමසුවෙමි.
"අවුරුදු කාලයට යාළු මිත්‍රයන්, නෑදෑයන්, අසල්වැසියන් එක්ක එක එක සෙල්ලම් කරනවා. ඒ අය අතරෙ තියෙන එකමුතුකම වැඩි වෙන්න මේ සෙල්ලම් කිරීම එක හේතුවක්. මේ කාලයේ දී කැට ගැසීම, පන්දු ගැසීම, එල්ලේ ගැසීම, පොරපොල් ගැසීම, වළකජු ගැසීම, පංච දැමීම, ගල් කිරීම, ඔළිඳ කෙළිය වගේ එක එක ක්‍රීඩා කරනවා."
"ඇයි සීයේ ඔංචිලි පැදීම?" මම සීයාට තවත් ක්‍රීඩාවක් මතක් කර දුන්නෙමි.
"පුතේ අද වගේ නෙවෙයි ඉස්සර මහා රූස්ස ගස්වල ඔංචිලි බැඳලා ඔංචිලි පැද්දෙත් තරගෙට. ඒ විතරක් නෙවෙයි දෙපිලේ කට්ටිය තරගෙට ඔංචිලි වාරම් කියනවා, හරිම විනෝදයි."
මිතුරු මෙනුඹ අප එක් ව සියල්ලා
කතුරු ලෙසට බැඳ රන් ඔංචිල්ලා
නතර ලමින් ගුවනේ ඔංචිල්ලා
මෙවර පදිමු අපි රං ඔංචිල්ලා
සීයාගේ හඬ ගීතවත් විය.
"සීයා කියලා දුන්න දේවල් වගේ ම පුතේ අලූත් අවුරුදු උත්සවයෙ දි අපිට වෙනත් ජාතීන්ගෙන් එකතු වුණු දේවලූත් තියෙනවා."
තාත්තා පසෙක සිට අපේ කතා බහට හවුල් විය.
"ඒ මොනව ද තාත්තෙ ඒ?" මගේ කුතූහලය අවදි වෙමින් තිබිණි.
"පුතා දන්නව ද අවුරුදු කෑම මේසෙ තියෙන කෑම වර්ගවලින් සමහර ඒවා අපට බටහිර ජාතීන් හඳුන්වලා දුන්නු කෑම ජාති කියලා. අපි කවුරුත් ආසාවෙන් කන කොකිස් අපිට ලැබුණෙ ලන්දේසින්ගෙන්. කේක් ඉංගිරිසින්ගෙ කෑමක්. අවුරුද්දට හදන හත්මාලූවට දාන කජු අපට හඳුන්වලා දුන්නෙ පුර්තුගීසින්. ඒ වගේ ම තමයි පුතේ, අවුරුදු කාලෙට අපේ ගෙවල්වල අච්චාරු දානව නේ. අච්චාරු දාන්න අපි ඉගෙන ගත්තෙත් පුර්තුගීසි ජාතිකයින්ගෙන්" තාත්තා විස්තර කර ගෙන ගියේ ය.
"හරි පුදුමයි නෙ තාත්තෙ. මම දැන ගෙන හිටියේ නෑනේ ඒ බව!" මම විස්මය පළ කළෙමි.
"තව දේවල් තියෙනවා පුතේ. පුතාලා හරි ආසාවෙන් පත්තු කරන රතිඤ්ඤා, නිලා කූරු වගේ දේවල් අපට චීනයෙන් ලැබුණු දේවල්."
"තාත්තේ, අපි අවුරුද්දට කරන ක්‍රීඩා අතරෙත් තියෙනව ද පිටරටවලින් ආපු ක්‍රීඩා?" මට ඇති වූයේ එබඳු පැනයකි.
"හොඳ ප්‍රශ්නයක් පුතේ ඒක. එහෙම ක්‍රීඩාවක් තමයි කඹ ඇදීම. ඉස්සර නාවිකයින් මුහුදු ගමන්වල යෙදිලා ගොඩබිමකට ආවම ඔවුන්ගේ අත පය නැවත පණ ගන්වා ගන්න, එහෙම නැත්නම් ක්‍රියාශීලී කර ගන්න දෙපිලක් බෙදිලා කඹ ඇදීමේ නිරත වුණා. ඒ ක්‍රීඩාව තමයි කඹ ඇදීම විදියට අද අපේ අවුරුදු ක්‍රීඩාවලට එකතු වෙලා තියෙන්නෙ." තාත්තා පැහැදිලි කළේ ය.
"තාත්තේ, මම නම් අද අලූත් අවුරුදු උත්සවය ගැන නො දන්නා කරුණු ගොඩක් ඉගෙන ගත්තා. මට දැන් ඉස්කෝලෙ ගිහින් මගේ යාළුවන්ටත් ඒ දේවල් කියා දෙන්න පුළුවන්. ඒ වගේ ම මම මාධවන් එක්ක කතා කරලා හින්දු අය අවුරුද්ද සමරන හැටිත් අහගන්න ඕනෑ. සීයාටත් තාත්තාටත් ගොඩක් ස්තුතියි." මම මගේ සතුට සහ ස්තුතිය ඔවුන් වෙත පුද දී අලූත් අවුරුද්ද සැමරීමට සූදානම් වූයෙමි.
අක්ෂර වින්‍යාස රීති
7 ශ්‍රේණියේ දී ඔබ අක්ෂර වින්‍යාසයට අදාළ රීති රාශියක් ඉගෙන ගෙන ඇත. මේ වසරේ දී ඔබ ඉගෙන ගන්නේ ඊට සම්බන්ධ තවත් රීති කිහිපයකි.
න, ණ භාවිතය
ගණිනවා යන අදහස ඇතිව නිර්මාණය වී ඇති නාම පදවල දක්නට ලැඛෙන්නේ මූර්ධජ ‘ණ’ කාරය යි.
පරිගණකය, ගණිතය, ගණකාධිකාරී
කිරීම යන අදහස රැගත් ‘කරණය’ යන වචන ඛණ්ඩය සහිතව නිර්මාණය වූ නාම පද සියල්ලෙහි ම මූර්ධජ ‘ණ’ කාරය ඇතුළත් වේ.
ශීතකරණය, කළමනාකරණය, ගෝලීයකරණය, නවීකරණය
මූර්ධජ ‘ෂ’ කාරයට පසුව මූර්ධජ ‘ණ’ යෙදීම අනිවාර්ය යි.
දූෂණ, භීෂණ, ලක්ෂණ, තීක්ෂණ
ල,ළ භාවිතය
‘ර’ කාරයෙන් අවසන් වන වර්තමාන කාල ක්‍රියා පද ආශ්‍රයෙන් බිහි වන අතීත කාල ක්‍රියා පදවල ඇත්තේ ‘ළ’ කාරය යි.
කරනවා - කළේ ය ගුගුරනවා - ගුගුළේ ය
විචාරනවා - විචාළේ ය වගුරනවා - වගුළේ ය
වදාරනවා - වදාළේ ය අතුරනවා - අතුළේ ය
සමූහයක් හැඟවෙන රැළ, පෙළ, මුළ, වැළ පදවල යෙදෙන්නේ මූර්ධජ ‘ළ’ කාරය යි.
ඇත් රැළ, තුරු පෙළ, සොර මුළ, බලා වැළ (කොක්කු සමූහය)
එහෙත් සමූහාර්ථවාචී ‘කැල’ යන පදයෙහි යෙදෙන්නේ දන්තජ ‘ල’ කාරය යි.
ශ, ෂ, ස භාවිතය
‘ක්’ ශබ්දයට පසුව යෙදෙන්නේ මූර්ධජ ‘ෂ’ අක්ෂරය යි.
අක්ෂරය, අක්ෂිදාන, රක්ෂණය, ප්‍රතික්ෂේප, භික්ෂුව
‘ප’ වර්ගයට අයත් අකුරකට මුලින් මූර්ධජ ‘ෂ’ අකුර යෙදේ.
පුෂ්පය, නිෂ්පාදනය, නිෂ්ඵල