ටිබෙටයට දකුණින් පිහිටි, ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් වන සිකීම් නම් කුඩා රටෙහි උපත ලද ඇස්. කේ. තෂිනම්ග්‍යල් දොළොස් හැවිරිදි වියේ දී සිය වැඩිමල් සොයුරු සිකීම් පුණ්ණජී හිමියන් සමග ශ්‍රී ලංකාවට පැමිණියේ ය. ඔහු පොල්ගස්දූව ආරාමයේ වෙසෙමින් විද්‍යෝදය පිරිවෙන, මරදාන මහාබෝධි විද්‍යාලය, මරදානේ පුරාණ රජමහ විහාරය ඇසුරේ අධ්‍යාපනය සපුරා ගෙන සිකීම් මහින්ද නමින් දොඩන්දූව ශෛලබිම්බාරාමයේ දී පැවිදි බිමට එළැඹිණි. ටික කලක් කොළඹ ආනන්ද විදුහලේ ගුරුවරයකු ලෙස ද කටයුතු කළ උන් වහන්සේ ප්‍රකට වූයේ ටිබෙට් ජාතික එස්. මහින්ද යන නමිනි. නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා, නිදහසේ දැහැන, දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල ආදි දේශාභිමානී පද්‍ය කෘති ද ඔවා මුතු දම, කව්මිණ, කව්මුතු හා ළමා කව් කලඹ ආදි ළමා කාව්‍ය කෘති මාලා ද උන් වහන්සේගේ නිර්මාණ වෙයි. මහින්ද හිමියන් ළමයින් උදෙසා ලියූ ජනප්‍රිය කාව්‍ය නිර්මාණයක් වන රාත්‍රීය නමැති පැදි පෙළ මෙම පාඩමට ඇතුළත් ය. එම නිර්මාණය රස විඳීමෙන් නො නැවතී ඔබේ නිර්මාණ හැකියාව ඔප් නංවා ගනිමින් කාව්‍ය නිර්මාණ රස විඳීමට ද මේ පාඩම ඔබට මාර්ගෝපදේශ සපයයි.
රාත්‍රිය
සමන් පිච්ච මල් ඉහිරුණු
නිල් තණකොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සන ද රෑට
බකමූණෝ පියාඹතී
අනික් කුරුල්ලෝ නිදතී
බෝ අතුවල එල්ලී ගෙන
මාවවුලෝ කෑගසතී
මගෙ හුරතල් අක්කාගේ
මාලේ මුතු ඇට වාගේ
මේ වැටෙන්නෙ පිනි බින්දුත්
හදමු එකක් ඒ වාගේ
හඳහාමී අප දිහාව
එබී බලයි පා හිනාව
සිහිල් සුළං දැල් විඳින්ට
දොරට යන්ට හොඳ වෙලාව
අහසේ තරු වැල් පිරිලා
පොළොවේ සුදු මල් පිපිලා
මඟුල් ගෙවල් දෙකක් වගෙයි
මේ දෙපළ ම හැඩ ගැහිලා
රස විඳිමු, කවි තනමු
ජීවන අත්දැකීමක් ඇසුරින් අප සිතෙහි පහළ වන ප්‍රබල හැඟීමක් අන් අයගේ ද සිත සසල වන සේ ප්‍රකාශ කිරීමට යොදා ගන්නා එක් මගකි, කවිය.
කවියෙන් පළ කෙරෙන අත්දැකීම තව කෙනකුගේ සිතෙහි හට ගන්වන්නේ පෙර නො දුටු, නො ඇසු විරූ හැඟීමකි. මෙම අපූර්වත්වය චමත්කාරය ලෙස ද හැඳින්වේ. මේ නිසා කවිය කියවන හෝ අසන හෝ තැනැත්තාගේ සිතෙහි දැඩි සතුටක් හෙවත් ප්‍රහර්ෂයක් හට ගනී. පැරණි පඬිවරු මෙය රසය යැයි හැඳින්වූහ. එබැවින් 'කවිය' රසවත් වූ වැකිය යි.
කවි රස විඳීමට හුරුවක් හෙවත් පුරුද්දක් තිබිය යුතු ය. කාව්‍යසාහිත්‍යාදි කලා, රස විඳීමෙන් සුමට වූ හදක් ඇත්තෝ සහෘදයෝ වෙති.
කවි තනන්නට, ඔබ ලැබූ අත්දැකීමකින් ඔබේ සිත ප්‍රබල ලෙස කම්පනය විය යුතු ය. එමෙන් ම එය රසවත්ව ප්‍රකාශ කිරීමට ඊට උචිත බස් වහරක් ඔබට තිබිය යුතු ය. එවැනි බසක් කාව්‍යෝක්ති නඟන බසක් ලෙස සැලකේ. කාව්‍යෝක්ති නැගීමට කවියා විවිධ උපක්‍රම වහල් කොට ගනී. එයින් කිහිපයක් හත්වන ශ්‍රේණියේ දී අපි උගත්තෙමු. උපමා, රූපක, අනුප්‍රාස, එළිසමය, හා විරිත ඉන් කිහිපයකි. මෙම උපක්‍රම නිසා කවියා ප්‍රකාශ කරන දැයෙහි විශේෂ අර්ථයක් මෙන් ම ශබ්ද මාධුර්යයක් ද ඇති වෙයි.
කවියා ලද ප්‍රබල හැඟීම ඉහත උපක්‍රම යොදා ගෙන ඉදිරිපත් කළ විට අප සිත ද කවියාගේ සිත මෙන් කම්පනය වෙයි නම් අපට ද කවි රස විඳීමේ දී හැකියාව තිබේ.
රසවත් කවි තනන්නට අප සතුව බොහෝ අත්දැකීම් තිබිය යුතු ය. ඒ අත්දැකීම් අප ලබා ගන්නේ පරිසරයෙනි. පොත පත කියැවීමෙන් හා වියතුන් ඇසුරෙන් අපේ දැනුමට බොහෝ දේ එකතු වෙයි. රසවත් කවි නිර්මාණය කරන්නට නම් අප අපූරු ලෙස යමක් දෙස බලන්නට පුරුදු විය යුතු යි. කිසිවකු නො දුටු ලෙස, විශේෂ ලෙස යමක් දැකිය යුතු ය. කිසිවකු නො කියූ ලෙස අප යමක් කිව යුතු ය. අපි උදාහරණ ගෙන බලමු.
මේ එක් එක් කවියෙන් පැහැදිලි වන්නේ කවියක් නිර්මාණය කරන්නට නම් යමක් දෙස සාමාන්‍ය ලෙස බැලීමෙන් එය කළ නො හැකි බව යි.
"වලාකුළු සුදු පැහැයෙන් බබළයි." එහෙත් කවියා එය දකින්නේ මඟුල් ගෙදරකට කළු පැහැය නො ගැළපෙන නිසා වලාකුළ සුදු පැහැයෙන් සැරසී සිටින්නා සේ ය. ඒ මඟුල් ගෙදර මංගල පහන සූර්යයා යි. වලාකුළුවලින් වියන් බැඳ ඇත. සූරියකාන්ත මල් පිපී හිරු රැස් වැටුණු පරිසරය මඟුල් ගෙයක සිරිය ගන්නා තැනක් ලෙස කවියා වර්ණනා කරයි.
බැස යන හිරු බස්නාහිර නමැති නටුවේ රැඳී ඇති වැටෙන්නට ඉතා ආසන්න, හොඳින් ඉදුණු, ඉතා රතු වූ පලතුරු ගෙඩියක් ලෙස කවියා වර්ණනා කරයි. මේ කවි කෙතරම් අපූරු ද? කිසිවකු නො සිතන ලෙස කවියා සිතයි, ලියයි.
මෙයින් පැහැදිලි වන්නේ යමක් දෙස අමුතු ආකාරයකින් බැලීම හා සිතීම රසවත් නිර්මාණ බිහි කිරීමට හේතු වන බව යි. එය කවියකු සතු විශේෂ ගුණාංගයකි.
එමෙන් ම රසවත් කවි පබඳින්නට බොහෝ පොත පත කියවා තිබිය යුතු ය; බොහෝ දේ අසා දැන ගෙන සිටිය යුතු ය; පරිසරය හා බැඳී සිටිය යුතු ය. එවිට කවි ලියන්නට අවශ්‍ය උපමා, රූපක හා අනුප්‍රාසවත් යෙදුම් භාවිත කරන්නේ කෙසේ ද, යෙදිය යුතු විරිත හා එළිසමය රැක ගන්නේ කෙසේ ද යන ගැටලූ නිරාකරණය වනු ඇත.
පාට පාට ඇඳුම් ඇඳගත් ළමයින් වගේ මල් පිපුණු ගසුත් රෝස මලක පැහැය ගත් නංගීගේ කම්මුල් හා පිච්ච මල් පොකුරක් වැනි වූ නංගීගේ හිනාවත් ගැන වර්ණනා කරද්දී අපට දැනෙන රසය කෙතරම් ද? උපමා හා රූපක යොදා ගැනීමෙන් වර්ණනා කරන මේ නැගණියන් දැකීමේ ආශාවක් අප තුළ ඇති වෙයි. කවි නිර්මාණය කරන විට ඒ කවියෙන් කියවෙන දේ අප සිතට දැනෙන ලෙස ඉදිරිපත් කරන්නට වග බලා ගත යුතු ය. ඒ හැඟීම, ඒ රසය දැනෙන ලෙස වචන යෙදීම කළ යුතු ය.
මේ කවිය ඇසෙත් ම සිතට දැනෙන්නේ දුකකි. ඉතා සරල වචන යොදා ගෙන මවකගේ යහගුණය ගැනත් දරුවකුගේ දුර්ගුණය ගැනත් පවසන කවියා අප සිතෙහි දුක්බර බවක් ඇති කරයි.
මව ගැන කවීන් දෙදෙනකු පවසන දේ රස විඳින්න. අම්මා ගැන ආදරයක් සිතෙහි ඇති වෙයි. අම්මාගේ වටිනාකම හා සෙනෙහස ගැන කවියෙන් කියවෙයි.
මෙවැනි කවි රස විඳිද්දී අපට දැනෙන්නේ වීරත්වය යි. වීරකම සිතට දැනෙන ලෙස පද ගළපා තිබීම විශේෂ ලක්ෂණයකි.
අසරණ හිඟන්නකු තම ජීවිතය රැක ගැනීමට සිඟා ගෙන එන ආහාර බුදින ආකාරය කීමෙන් අප සිතෙහි අනුකම්පාවත් ඒ සමග ම පිළිකුළත් ඇති වෙයි.
මෙහි පොහොසතුන්ගේ ක්‍රියා කලාපය ගැන අපට දැනෙන්නේ උපහාසයකි. කලකිරීමකි. අවඥා සහගත හැඟීමකි.
ආදරය, කරුණාව, ආශාව, වීරත්වය, පිළිකුල, උපහාසය වැනි හැඟීම් ඇති වන ලෙස කවි නිර්මාණය කෙරෙයි. ඒවා නැවත නැවත කියවා රස විඳින්නට සිතෙයි. කවි නිර්මාණය කරද්දී ඒ ඒ හැඟීම් දැනෙන ලෙස වචන යෙදිය යුතු යි. රස විඳින්නට රසවත් කවි නිර්මාණය කළ යුතු යි.
එළිසමය හා විරිත සහිත සිවුපද කවි ලෙසත් එසේ නොමැතිවත් කවි නිර්මාණය කළ හැකියි. ඔබටත් මේ කුමන ආකාරයකට හෝ කවි නිර්මාණය කළ හැකි යි. විවිධ රස දැනෙන ලෙස විවිධ අලංකාර යෙදුම් භාවිත කරමින්, රස වෑහෙන හැඟීම් දැනෙන කවි ලියන්නට නිතර නිතර කවි නිර්මාණය කළ යුතු ය; අභ්‍යාස කළ යුතු ය. එවිට ඔබත් දක්ෂ කවියකු වනු නො අනුමාන ය. ඔබේ අත්දැකීම් ඇසුරෙන් පුංචි පුංචි රසවත් කවි නිර්මාණය කරන්නට උත්සාහ කරන්න.