18 - පින්කම දා අපේ ගෙදර

ගෙදර හැමෝ ම සංවර සුදු ඇඳුමින් සැරසුණා. අත්තම්මා දානයට සූදානම් කළ දේවල් මුලින් ම බුද්ධ පූජාවට ඛෙදා වෙන් කළා.

අපි ස්වාමීන් වහන්සේලා වැඩම කරවාගෙන ඒමට විහාරයට යන විට බුද්ධ පූජාවත් රැගෙන ගියා.

හේවිසි හඬ මැද්දේ තාත්තා මුතු කුඩය යටින් ධාතු කරඬුව හිස මත තබාගෙන පැමිණියා.

ඊට පසුපසින් ස්වාමීන් වහන්සේලා පේළියට වැඩම කළා.

සාධු නාද මැද්දේ තාත්තා ධාතු කරඬුව තැන්පත් කළා. අයියා ස්වාමීන් වහන්සේලාගේ පා ධෝවනය කළා. මම පා පිසදැමුවා.

සියලූ දෙනා ස්වාමීන් වහන්සේලාට වැන්දා.

බුද්ධ පූජාව තැන්පත් කළා. ලොකු හාමුදුරුවෝ පිරිස පන්සිල් සමාදන් කරවා බුද්ධ පූජාව පැවැත්වූවා.

ඉන් පසු අපි ස්වාමීන් වහන්සේලාට, පැන් පූජා කළා.

දානය පිළිගැන්වූවා.

පිරිකර පූජා කළා.

හාමුදුරුවෝ දානමය පින්කමක වටිනාකම පැහැදිලි කරමින් ධර්ම දේශනා කළා.

පැන් වැඩීමෙන් පසුව ස්වාමීන් වහන්සේලා පිරිත් දේශනා කර අපට සෙත් පැතුවා.

පින්කම හොඳින් නිමා කිරීම ගැන අපි කවුරුත් සතුටු වුණා.