15 - ජෝර්දාන් ගඟේ අපූරු සිද්ධිය

චරිත : ජේසුස් වහන්සේ

        ශුද්ධාත්මයාණන් වහන්සේ

        ජොහාන් තුමා

        සෙනඟ

(ජොහාන් තුමා, ගං ඉවුරේ රැස් ව සිටින මහ විශාල සෙනඟට දේශනා කරමින් සිටියි)

ජොහාන් තුමා : ඔබලා වැරදි කරන බව පිළගන්න. ඒවාට මනස්ථාපනය වන්න. පියාණන් වහන්සේ ඔබට සමාව දෙන්නට ආදරයෙන් බලා සිටිනවා.

සෙනඟ : අපේ වැරුදිවලට සමාව ලබා ගන්න අපි කැමතියි. ඒ සඳහා අප කුමක් කළ යුතු ද?

ජොහාන් තුමා : ඔබලා දෙවි පියාණන් වහන්සේගෙන් සමාව ලැබෙන බව විශ්වාස කරන්න. මේ ගඟේ බැස බෞතීස්ම ස්නාපනය ලබා ගන්න. පාපවලින් පිරිසිදු වන්න.

(මේ අතරේ ජේසුස් වහන්සේ පැමිණේ)

ජේසුස් වහන්සේ : ජොහාන්, මාවත් බෞතීස්ම ස්නාපනය කරන්න.

ජොහාන් තුමා : (පුදුම වී) ඔබ වහන්සේ මට වඩා බොහොම උතුම් කෙනෙක්. මා ඔබෙන් බෞතීස්මය ලැබිය යුතු නොවේද?

ජේසුස් වහන්සේ : ජොහාන්, ඔබ මට බෞතීස්ම ස්නාපනය ලබා දිය යුතුයි. එයයි දේව කැමැත්ත.

ජොහාන් තුමා : ඔබ වහන්සේගේ ඉල්ලීම නිසා මම බෞතීස්ම ස්නාපනය ලබා දෙන්නම්. එන්න ස්වාමීනි!

බෞතීස්ම ස්නාපනය දුන් මොහොතේ පුදුම දෙයක් සිදු වුණි. ස්වර්ග රාජ්‍යය විවෘත වී ආත්මයාණන් වහන්සේ පරවියකු ලෙස ජේසුස් වහන්සේ වෙත වැඩම කළ සේක. එවිට ම "ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය. මම ඔබ කෙරේ ඉතා ප්‍රසන්න වී සිටිමි" යි අහසින් හඬක් ඇසුණේ ය. බෞතීස්මයෙන් පසු ජේසුස් වහන්සේ තනිව ම යාච්ඤා කිරීමට පාළුකරයට ගිය සේක.

ආදර දෙවි පියාණනි, ප්‍රසාද ස්නාපනය මගින් ජන්ම පාපයෙන්
නිදොස් වූ අප ලැබූ දේව දරුකම ආරක්ෂා කර ගනිමින් ජීවත් වීමට
අපට පිහිට වුව මැනව. අපට වැරදි කරන්නට සිතෙන අවස්ථාවල දී
එයින් වැළකී සිටීමට අපට උදව් වුව මැනව. ආමෙන්.