21 - ජෝසෙප්

දුවලා පුතාලා දන්නව ද ජෝසෙප් කියන්නේ කවුද කියලා? අපේ ආදි පියෙකු වන ජාකොබ් තුමාගේ පුතුන් දොළොස් දෙනාගෙන් කෙනෙක්. කුඩා කල සිට ම සිහින තෝරා දීමේ විශේෂ හැකියාවක් ජෝසෙප්ට තිබුණා. ඒ නිසා ඔහුගේ සහෝදරයෝ "ස්වප්නකාරයා" කියා ඔහු හැඳින්වූවා. තම පියා ජාකොබ් තම බාල මල්ලීට වැඩියෙන් ආදරේ කළ බව දුටු සහෝදරයෝ ජෝසෙප්ට වෛර කළා.

ජෝසෙප්ගේ සහෝදරයෝ බැටළුවෝ බලාගන්න අයයි. දිනක් ජෝසෙප් තම පියාගේ ඉල්ලීමට සහෝදරයෝ බැටළුවෝ බලා ගන්නා ස්ථානයට ගියා. දුර දී ජෝසෙප් එන බව දුටු සහෝදරයෝ ඔහුව මරා දමන්න හිතුවා. පසුව මරා නොදමා වෙළෙඳුන්ට විකුණුවා. ඒ අය ඔහු මිසරයට ගෙන ගියා.

මිසරයේ දී රජ වාසලේ සෙන්පති ඇමති වන පොතිපර්, ජෝසෙප්ව මිලයට ගත්තා. ජෝසෙප් ඉතා හොඳින් එහි වැඩ කළා. ඒ නිසා පොතිපර් තම ගෙදර සියලු කටයුතු ජෝසෙප්ට භාර දුන්නා. පසුව නොයෙක් බොරු චෝදනාවලට ජෝසෙප් හිර ගෙදරට නියම වුණා.

හිර ගෙදර සිටින විට ද ජෝසෙප් දෙවියන් වහන්සේට යාච්ඤා කළා. සමහර අවස්ථාවල හිර කරුවන් දුටු සිහින පවා ජෝසෙප් හොඳින් තේරුම් කර දුන්නා. ඒ සිහින ඒ විදිහට ම සැබෑ වුණා.

කලක් ගත වුණා. රටේ රජතුමා ද මහ අමුතු හීනයක් දුටුවා. රජතුමාට මෙය තේරුම් ගැනීමට බැරි වුණා. එහි තේරුම පැහැදිලිකර දීමට කිසිවකු සමත් වූයේ නැහැ. ජෝසෙප් ගැන දැනගත් රජතුමා ඔහු ගෙන්වා ගත්තා. රජතුමා දුටු හීනය ගැන ඔහුට කිවුවා. එවිට ජෝසෙප්, මම නොවේ මේ හීන තෝරන්නේ, මා තුළින් මගේ දෙවියන් වහන්සේ එය කරන්නේ කියා රජතුමාට කිවුවා. ජෝසෙප්ගේ විශ්වාසය ගැන රජතුමා සතුටු වුණා.

රජතුමා දුටු හීනයට අනුව මුළු දේශයට ම සරුසාර අවුරුදු හතක් මුලින් ඇති වන බවත්, ඉන් පසුව අවුරුදු හතක් සාගතයක් ඇති වන බවත් ජෝසෙප් කිවුවා.

මෙයින් රට බේරා ගැනීමට හැකි වන්නේ ජෝසෙප් වැනි බුද්ධිමත් අයකුට බව රජතුමාට වැටහුණා. රජතුමා මුළු දේශයේ අධිපති ලෙස ජෝසෙප් පත් කළා. ජෝසෙප් යහපත් බව රජතුමා තේරුම් ගත්තා.

සරුසාර අවුරුදු හතේ දී ජෝසෙප් රට වැසියන් සමග එකතු වී උනන්දුවෙන් මහන්සියෙන් වගා කළා. අවුරුදු ගණනාවකට ධාන්‍ය රැස් කළා. සාගතයට මුහුණ දීමට රට වැසියන් සූදානම් කළා.

සරුසාර කාලය ගෙවී සාගතය පටන් ගත්තා. මිසර රටට පමණක් කෑම ඕනෑ තරම් තිබුණා. නමුත් ජෝසෙප්ගේ සහෝදරයෝ සිටි කානාන් දේශයට කෑම නැති වුණා. මේ අයටත් ජෝසෙප් ළඟට එන්න වුණා. ධාන්‍ය මිලයට ගන්න පැමිණි සහෝදරයෝ ජෝසෙප්ව හඳුනා ගත්තේ නැහැ. නමුත් ජෝසෙප් තම සහෝදරයන් හඳුනා ගත්තා. පසුව සහෝදරයෝ ජෝසෙප්ව හඳුනා ගත්තා. ඔවුන් ජොසෙප්ට කළ හිරිහැර ගැන කණගාටු වුණා. ජෝසෙප්ගෙන් සමාව ඉල්ලුවා. ජෝසෙප් සමාව දුන්නා. පසුව සියලු දෙනා සමගියෙන් ජීවත් වුණා. ජෝසෙප් කළ හැම කාර්යයක් ම සාර්ථක වුණේ දෙවියන් වහන්සේ ජෝසෙප්ට ආදරය කළ නිසයි. ජෝසෙප් දෙවියන් වහන්සේට කීකරු වූ නිසයි.

ආදර දෙවි පියාණන් වහන්ස, ජෝසෙප් වගේ සැමවිට යහපත
පමණක් කිරීමට අපටත් උදව් වුව මැනව. අපට හිරිහැර කරන
අයට සමාව දීමටත් ආදරය කිරීමටත් අපට පිහිට වුව මැනව.
ආමෙන්.