24 - ශුද්ධ වූ තාර්සිසියුස් තුමා

ශුද්ධ වූ තාර්සිසියුස් තුමා රෝමයේ ජීවත් වූ කිතුණු දරුවෙකි. මෙතුමාගේ දෙමවුපියන් ජීවතුන් අතර නොවී ය.

ඒ කාලයේ හිටපු පාලකයා කිතුනු ආගම මුළුමනින් ම විනාශ කර දැමීමට සිතුවා. මේ නිසා කිතුනුවන් බිංගෙයක් තුළ රහසින් හමුවුණා. එක දවසක් තාර්සිසියුස් මෙම බිංගෙයට ගියා. එහි දී එතැන සිටි දෙවන සික්ස්ටස් සුදතුම් පියතුමා සිරගෙදර සිටින අයට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමට සලස්වන්නේ කෙසේ ද කියා කිතුනුවන්ගෙන් ඇසුවා. එවිට තාර්සිසියුස් තුමා ඉදිරියට පැමිණ හිරගෙදරට තමා යවන ලෙස ඉල්ලා සිටියා. මුල දී සුදතුම් පියතුමා අකමැති වුණා. පසුව කුඩා ළමයෙකු කවුරුත් ගණන් ගන්නේ නැති වෙයි කියා සුදතුම් පියතුමා ඔහු යැවීමට එකඟ වුණා.

පසුවදා උදේ දිව්‍ය පූජාවෙන් පසු සුදතුම් පියතුමා තාර්සිසියස්ට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දෙමින් "දැන් යන්න පුතා. ඔබ උසුලාගෙන යන ස්වාමීන් වහන්සේ ඔබ සමඟ වේවා!" යයි පැවසුවා. පසුව තාර්සිසියුස් දිව්‍ය සත්ප්‍රසාද සහිත කුඩා පසුම්බිය කරවටේ දමාගෙන ඔහු‍ගේ ඇඳුමට යට කර ගත්තා. "මගේ හදවත මත මම ජේසුස් වහන්සේ උසුලාගෙන යන්නෙමි" යි සිතමින් මෙතුමා බිංගෙයින් පිටත් වුණා.

කිසිවෙකුගේ ඇස නොගැටී ටික දුරක් ගියා. පාසලෙන් පැනගොස් ක්‍රීඩා කරමින් සිටි පිරිමි ළමුන් කණ්ඩායමක් තාර්සිසියුස් තුමා දැකලා සෙල්ලම් කරන්නට අඬ ගැසුවා. වැදගත් වැඩක් කරන්නට ඇති නිසා ඒමට නොහැකි බව පැවසූ විට ඔවුන් ඔහුට බල කළා. ඒ අයට මෙතුමා මොකක් දෝ සඟවාගෙන ඉන්න බවට සැක හිතුණා. එය පෙන්වන ලෙස තදින් ඔවුන් කියා සිටියත් එය ප්‍රතික්ෂේප කළ නිසා එතුමාට තදින් පහර දී පලා ගියා. එතුමා නැගිටින්න උත්සාහ කළත් බැරිවුණා.

"ජේසුනී මම මරණයට පත්වන තුරු ඔබ වහන්සේ ව ආරක්ෂා කළෙමි. මේ ළමයින්ට සමාව දෙන්න." කියා පහත් හඬින් පැවසුවා. මරණාසන්නව සිටි මෙතුමා දුටු කිතුනු හේවායා ඔහු බිංගෙයට ඔසවාගෙන ගොස් සික්ස්ටස් පාප්තුමාට භාර දුන්නා.

"ඔබේ ආදරයෙන් පිරි ත්‍යාගවන්තකම නිසා ජේසුස් වහන්සේ සුරක්ෂිත ව සිටින සේක." යනුවෙන් සුදතුම් පියතුමා පැවසුවා. සත්ප්‍රසාදයේ වැඩ සිටින ජේසුස් වහන්සේ තම හදවතට තව තවත් තද කර ගනිමින් ඔහු ස්වර්ගස්ත වුණා. ඔහුගේ අත්දෙක පපුවෙන් ඉවත්වූයේ එවිටයි.

මේ නිසා ශුද්ධ වූ තාර්සිසියුස් තුමා පළමු වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන ළමුන්ගේ, අරක්ගත් මුනිවරයා වශයෙන් හඳුන්වනු ලබනවා.