17 - අපිත් කමා වෙමු

ශු. ලුක් 23 : 24

සෙනසුරාදා දහවල් එකට පමණ අපේ නිවෙස ඉදිරියෙන් සීනුවක් නාද වුණි. ඒ වන විට මම අම්මාට නිවසේ වැඩට උදවු කරමින් සිටියෙමි. අපිට ලියුම් ඇවිල්ලා, කියමින් නංගී කෑගැසුවා ය.

"ආනේ.... ලියුමක්," යැයි කියමින් නංගී ලියුම් මාමාගෙන් එය ලබා ගත්තා ය. මුද්දරය උඩ ගසා තිබුණු මුද්‍රාව බණ්ඩාරවෙල ලෙස සඳහන් විය.

මම ඉක්මනින් එම ලිපිය කඩා කියවන්නට ගත්තෙමි. ලියුමේ අවසානයේ, 'ඉසුරු' ලෙස අත්සන් කර තිබුණි.

    ඉසුරු මගේ පංතියේ යහළුවෙක්. මේක ඔහු ලියපු ලියුමක්.

ආදරණීය දෙව්රු,
දෙව්රු ඔයාගේ සැප සනීප කෙසේ ද? ඔයාට
කියන්න මට විශේෂ දෙයක් තියෙනවා. ඔයා මාත් එක්ක
තරහද? ඊයේ පංතියේ දී මම හිතුවේ පුංචි අම්මා මට
නත්තලට තෑගි දුන්න පෑන ඔයා අරගත්තා කියලයි.
මම ඒක නලින්ටත් කිවුවා. කුමුදු මිස්ටත් කිවුවා. අනේ
දෙව්රු මට සමාවෙන්න. මට ලොකු වැරැදීමක් වුණේ.
ඊයේ නිවාඩුවට අපි බණ්ඩාරවෙල ආවාට පස්සේ, මගේ
පොත් අතර තිබිලා ඒ පෑන හම්බ වුණා. මම ඔයාගේ
හිත හොඳට ම රිද්දුවා. වෙච්ච දේ හොයන්නෙ බලන්නේ
නැතුව මම වැඩ කළා. අනේ.... ඔයා මා එක්ක තරහ
ද? ඔයා මට සමාව දෙනව ද? මම ඔයාගෙන් පිළිතුරු
ලිපියක් බලාපොරොත්තු වෙනවා.

ඔයාට ජේසු පිහිටයි!

මීට ඔබේ මිතුරු,
ඉසුරු

දෙව්රුගේ පිළිතුරු ලිපිය

දයාබර ඉසුරු වෙත,
මම ඔයා එක්ක කවදාවත් ම තරහ නෑ. මම
ඔයාට සමාව දෙනවා. මට ටිකක් දුක හිතුණා තමයි.
මම ඔයා ගැන යාච්ඤා කරනවා. අපි හැම දා ම
හොඳ යහළුවන් ව ඉඳිමු. නිවාඩු කාලය ඉවර වුණු
ගමන් කොළඹ එන්න. මම බලාගෙන ඉන්නවා.

මීට,
මිතුරු දෙව්රු.

ගුරුතුමිය : මේ ලිපිය කොතරම් ආදරණීය ද?

මීටත් වඩා ආදරණීය කතාවක් මම ඔයාලට අද කියන්නම්. අපගේ වැරැදිවලින් අප මුදා ගන්නා ජේසුස් වහන්සේ මේ ලෝකයට පැමිණුණා. උන්වහන්සේ කිසි ම වරදක් නැති දේව පුත්‍රයායි.

උන්වහන්සේ එදා මිනිසුන්ගෙන් නින්දා විඳලා, අපහාස විඳලා, කසපහර විඳලා කටු ඔටුන්නක් හිස පලඳමින් කුරුසියක් මත දිවි පිදුවා. ඒ මොහොතේ දීත් ජේසුස් වහන්සේ තමන්ට නිග්‍රහ කළ මිනිසුන් වෙනුවෙන් පියාණන් වහන්සේට මෙසේ යාච්ඤා කළ සේක.

"පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව. ඔවුන් කරන දෙය ඔවුහු නොදනිති"

මෙම යාච්ඤාව කුරුසියේ එතුමා ප්‍රකාශ කළ පළමු වදන සේ හැඳින්වෙනවා.

කිසිදු වරදක් නොමැති ව ජේසුස් වහන්සේට කසපහර දුන් කුරුසිපත් කළ මිනිසුන්ට සමාව දීම කෙතරම් විශිෂ්ට ද? එදා ජේසුස් වහන්සේට මිනිසුන් ඇණ ගසන විට, තමන් කරන්නේ වැරැද්දක් බව ඔවුන් නොදැන සිටින්නට ඇති. ඔවුන් නොදැන කළ වරදට ජේසුස් වහන්සේ ඔවුන්ට සමාව දුන් සේක.

පුංචි ඔබත් වැරැදි කරන අයට කමාව දෙන්න.
ඔබට වැරැදි කරන අය ගැන යාච්ඤා කරන්න.
ඔවුන්ට සමාව දෙන්න.

ඔබේ වැරැදිවලටත් ජේසුස් වහන්සේ කමා වන බව තේරුම් ගෙන උන්වහන්සේට ඔබගේ වැරැදි කියා සිටිමින් කමාව අයදින්න.

දෙවිඳුනි,
ඔබේ දයා කරුණාවෙන්
මට අනුකම්පා කළ මැනව;
ගීතාවලිය 51:1