5 - ඒලීගේ මඟපෙන්වීම ලබාගත් සාමුවෙල්

1 සාමුවෙල් 3 : 1 - 10

සාමුවෙල් කුඩා අවධියේ දී ඒලී පූජකයා යටතේ දෙවියන් වහන්සේට සේවය කරමින් සිටියේ ය. ඒ කාලයේ ස්වාමීන් වහන්සේගෙන් ලැබුණු පණිවුඩ දුර්ලභ විය.

දිනක් ඒලී නිදාගෙන සිටියේ ය. සාමුවෙල්, ස්වාමීන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තිබුණු ශුද්ධ ස්ථානයෙහි නිදාගෙන සිටියේ ය. එවිට ස්වාමීන් වහන්සේ සාමුවෙල්ට අඬ ගැසී ය. සාමුවෙල් ද "මම මෙහි ය" යි කීවේ ය. පසුව සාමුවෙල් ඒලී ළඟට ගොස් "ඔබ මට අඬ ගැසුවේ දැ" යි ඇසුවේ ය. ඒලී ද "මා අඬ ගැසුවේ නැත. ගොස් නිදා ගන්න" යි කීවේ ය.

ස්වාමීන් වහන්සේ නැවතත් සාමුවෙල්ට අඬ ගැසූ සේක. සාමුවෙල් පෙර පරිදි ම උන්වහන්සේට පිළිතුරු දුන්නේ ය. ඒලීගෙන් ද ගොස් විමසුවේ ය.

ස්වාමීන් වහන්සේ තුන් වන වතාවටත් සාමුවෙල්ට අඬ ගැසූ සේක. එවිට සාමුවෙල් නැවතත් ඒලී ළඟට ගොස් "ඔබ මට කතා කළේ ද මම මෙහි ය" යි පැවසුවේ ය. එවිට ස්වාමීන් වහන්සේ ළමයාට අඬ ගසන බව ඒලී පූජකයා තේරුම් ගෙන, "ඔබ ගොස් නිදා ගන්න. නැවත අඬ ගැසුවොත්, සමිඳාණන් වහන්ස කතා කළ මැනව. ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා" කියන්නැ යි කීවේ ය.

සාමුවෙල් ඊට කීකරු වී ගොස් නිදා ගත්තේ ය. ස්වාමීන් වහන්සේ පළමු වතාවල දී මෙන් "සාමුවෙල්, සාමුවෙල්" කියා අඬ ගැසූ සේක. සාමුවෙල් පිළිතුරු දෙමින් "කතා කළ මැනව. ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා" යි කීවේ ය.

කුඩා සාමුවෙල් මෙසේ ඒලී පූජකයා කියූ ලෙස ක්‍රියා කළ නිසා දෙවියන් වහන්සේ ඔහුට කතා කළ දේට සවන් දීමට හැකි විය. පුංචි අපිත් හැමවිට ම ගුරුවරුන්ගේ හා දේව සේවකයන්ගේ මඟ පෙන්වීම් අනුව ක්‍රියා කිරීමට පුරුදු වෙමු.

අපි ගුරුවරු සහ දේව සේවකයන්ගේ මඟපෙන්වීම සොයමු.

ආදරණීය ජේසුස් වහන්ස,
කුඩා සාමුවෙල් ඒලී පූජකයාගේ මඟ පෙන්වීම සොයා ක්‍රියා
කළ ලෙස, අපට ද දේව සේවකයන්ගේ සහ ගුරුවරුන්ගේ මඟ
පෙන්වීම අනුව ක්‍රියා කරන්නට පිහිට වෙන්න.
ආමෙන්.