3 - රජ්ජුමාලා

උරුවෙල් දනව්වේ ගයා ප්‍රදේශයේ බමුණු ගෙයක් තිබුණා. එහි දාසියක් සිටියා. ඇගේ නම මාලා. ඇයට දිග කෙස් වැටියක් තිබුණා.

ඒ ගෙදර සිටි බමුණාගේ ලේලිය ඉතා ම නපුරුයි. ඇය නිතර ම මාලාට හිංසා කළා, බැන්නා. මාලාගේ දිග කෙස් වැටියෙන් අල්ලා ගෙන නිතර ම පහර දුන්නා. අසරණ මාලා හුඟක් දුක් වුණා.

ඉවසීමට බැරි වූ තැන මාලා තම අලංකාර කෙස් වැටිය කපා දැමුවා. එයින් බමුණාගේ ලේලිය කෝපයට පත් වුණා. ඇය මාලාගේ ගෙලට ලණුවක් දමා ඒ ලණුවෙන් ඇද පහර දුන්නා. මාලාගේ බෙල්ල තුවාල වුණා. ඇයට ලොකු වේදනාවක් ඇති වුණා.

මේ ලණු මාලය නිසා මාලා - රජ්ජුමාලා නමින් හැඳින්වුණා. දිනපතා හිරිහැර විඳීමට සිදු වූ නිසා රජ්ජුමාලාට ජීවිතය එපා වුණා. ඇය දිනක් දිය ගෙන ඒමට යන බව අඟවා, කළයක් රැගෙන නිවසින් පිට වී ගියා. ඇය කැලයකට ගොස් ජීවිතය නැති කර ගැනීමට උත්සාහ කළා.

"දියණිය රජ්ජුමාලා - දිවි තොර කර ගන්න එපා, මා වෙතට එන්න."

ඇයට ඉතා මිහිරි කරුණාබර හඬක් ඇසුණා. ඇය වටපිට බැලූවා. ගසක් මුල වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ඇයට දකින්නට ලැබුණා.

  

ඇය බුදුරජාණන් වහන්සේට වැඳ පසෙකට වුණා. බුදුරජාණන් වහන්සේ රජ්ජුමාලාට ධර්මය දේශනා කළා. ධර්මය ඇසූ ඇය සෝවන් වුණා. ඇය තුළ මෛත්‍රී සහගත අදහස් ඇති වුණා.

තමාට බොහෝ සේ කරදර හිරිහැර කළ ස්වාමිදුවට ද ඇය මෛත්‍රී කළා. කළයට දිය පුරවා ගත් ඇය සිනා මුසු මුහුණින් ගෙදර ගියා. වෙනදාට වඩා ඉතා ම කැමැත්තෙන් ගෙදර සියලූ ම වැඩ කළා.

ගෙදර බමුණාට එය මහත් පුදුමයක් වුණා. ඇගේ සතුටට හේතුව ඇසුවා.

"මම අද බුදුහාමුදුරුවෝ සරණ ගියා. මීට පස්සෙ මට කිසිවෙක් කොතරම් පහර දුන්නත් මම අමනාප වෙන්නෙ නැහැ. හැම දෙනාට ම මෛත්‍රී කරනවා," රජ්ජුමාලා කිවුවා.

බමුණා රජ්ජුමාලා ගැන පැහැදුණා. ඇයට හිරිහැර නොකරන ලෙස ලේලියට කිවුවා.

බමුණා රජ්ජුමාලාගෙන් තොරතුරු ඇසුවා. බුදුරජාණන් වහන්සේ තම නිවසට වැඩමවා දානය පූජා කළා. බමුණාගේ ලේලිය ද බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා කාරුණික තැනැත්තියක් වුණා. ඇය ඊට පසු කිසි ම දිනක රජ්ජුමාලාට හිරිහැර කළේ නැහැ.

බුදුරජාණන් වහන්සේගේ කරුණාව නිසා රජ්ජුමාලාට සෙත සැලසුණා. බමුණා ඇය දාස භාවයෙන් නිදහස් කළා. තමන්ගේ දියණියකට ලෙසින් ආදරයෙන් කරුණාවෙන් සැලකුවා.