4 - මගේ රට

පුංචි අපට
සිරි සැප දෙයි
සිරි ලංකා
දීපේ

පාන්දර ම
එහෙන් මෙහෙන්
ඇසෙයි කුරුලූ
ගීතේ

ඕලූ නෙලූම්
පිපී වැනෙයි
පිරිලා වැව්
ගානේ

ඇළ දොළ ගං
ඉවුරු දිගේ
වන මල් පෙති
පාවේ

සුදු වැල්ලේ
කවඩි උඩින්
රළ පෙරළෙයි
මූදේ

උසට උසේ
කඳු ද පෙනේ
වලාකුළු ද
ගෑවේ

පිපෙන සමන්
පිච්ච පොකුරු
නැළවෙයි හඳ
පානේ

ඉර එළියට
හඳ එළියට
වෙලේ ගොයම්
නෑවේ

වනන්තරේ
ගස් බිල්වල
මී පැණි බිඳු
බේරේ

හරි සුවඳයි
පැසෙයි ඉදෙයි
පලතුරු හැම
වාරේ

පුංචි අපට
සිරි සැප දෙයි
සිරි ලංකා
දීපේ

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ