1 - අල්ලාහ්

අහස බලන්න. එහි ඔබ ඉර හා හඳ දකිනවා නොවේ ද?

මේවා මැව්වේ කවරෙක් ද?

රාත්‍රියේ අපි නින්දට ගොස් විවේක ගන්නෙමු. දහවල් කාලයේ අපි ඉගෙන ගන්නෙමු, තව ද ක්‍රීඩා කරන්නෙමු.

රාත්‍රිය හා දහවල් කාලය ඇති කළේ කවරෙක් ද?

සුළඟ හා වර්ෂාව ලබා දෙන්නේ කවරෙක් ද?

ගස් වැල් වඩවන්නේ කවරෙක් ද?

අප මවා සුරකින්නේ කවරෙක් ද?

අපට ලස්සන පෙනුමක් ලබා දුන්නේ කවරෙක් ද?

අපගේ අවශ්‍යතා ඉටු කර දෙන්නේ කවරෙක් ද?

මෙවැනි ප්‍රශ්න සියල්ලට ම එක ම පිළිතුර අල්ලාහ් වේ.

මෙලොවෙහි ඇති සියල්ල මවා පාලනය කරන්නා අල්ලාහ් ය. අප ඔහු අමතනුයේ (රබ්බුල් ආලමීන්) යනුවෙනි.

අල්ලාහ් කරුණාවන්ත ය, දයාබර ය. ඔහු මෙන් කිසිවෙක් කරුණාව දක්වන්නේ නැත; දයාව දක්වන්නේ ද නැත.

අල්ලාහ් සියල්ල දන්නේ ය. ඔහු නොදැන කිසිවක් සිදු වන්නේ ද නැත.

ගසින් හැලෙන කොළ සහ ඒවායෙහි සංඛ්‍යාව ද ඔහු දන්නේ ය.

අපගේ ක්‍රියා හා සිතුම් පැතුම් සියල්ල ඔහු දැන සිටින්නේ ය.

අල්ලාහ් සියලූ හැකියාවන්ගෙන් හා ශක්තීන්ගෙන් පරිපූර්ණ ය. අහස, පොළොව හා එහි ඇති සියල්ල මැව්වේ ඔහු ම ය. ඔහු යමක් මැවීමට අදහස් කළ විට "සිදු වනු" යැයි පවසයි. එවිට එය එලෙස ම සිදු වේ.

අල්ලාහ් කිසිදු දෙයකට සම නොවෙයි. ඔහුට මවක හෝ පියකු නොමැත බිරිඳ හා දරුවන් ද නොමැත. ඔහුට අවශ්‍යතා කිසිවක් නැත. එනමුත් සියලූ මැවීම්වලට ඔහුගේ අවශ්‍යතාව පවතී. අපගේ වුවමනා සපුරා ගැනීමට වඩාත් සුදුස්සා ඔහු ය.

අල්ලාහ් අප අලංකාර හැඩයකින් මවා ඇත්තේ ය අපට අවශ්‍ය වාතය, ආහාර, ජලය යනාදි සියල්ල ලබා දෙන්නේ ය. එබැවින් අප ඔහුට කෙළෙහිගුණ දැක්විය යුතු ය.

ඉර, හඳ, අහස, පොළොව, ගස් වැල්, සතුන්, හා පක්ෂීන් ආදී සියල්ල අල්ලාහ් තස්බීහ් කරයි. (සුබ්හානල්ලාහ්)

ඔහුට ප්‍රශංසා කරයි, පරිශුද්ධ කරයි. (අල් හම්දු ලිල්ලාහ්) ඔහුගේ නියමය පරිදි ක්‍රියාත්මක වේ.

 

එනිසා මිනිසුන් වන අපි ද

  • අල්ලාහ්ව පරිශුද්ධ කරමු.
  • ඔහුට ප්‍රශංසා කරමු.
  • ඔහුට අවනත වී කටයුතු කරමු.
  • ඔහු පමණක් නමදිමු.