21 - අසල්වැසියෝ

අප නිවස අවට ජීවත් වන්නෝ අසල්වැසියෝ වෙති. ඔවුන් අප නෑදෑයන් විය හැකියි. මුස්ලිම් සහෝදරයන් හෝ මුස්ලිම් නොවන සහෝදරයන් ද විය හැකියි. එය කෙසේ වෙතත් ඔවුන්ට කළ යුතු යුතුකම් හා හිමි විය යුතු අයිතිවාසිකම් තිබේ. හදිසි අවස්ථාවක දී ද, අනතුරක දී ද, අවශ්‍යතාවක් ඇති වූ විට දී ද මුලින් ම පැමිණෙන්නෝ අසල්වැසියෝ ය.

ඔවුන් සමග සුහද ව කතා කිරීම, තෑගි බෝග හුවමාරු කරගැනීම, ඔවුන්ගේ සැපතේ දී හා දුකේ දී සහභාගි වීම, සතුටුදායක අවස්ථාවල දී සහභාගි වීම, ආපදාවක දී උදවු වීම, යහ උපදේශ කියා දීම, වරද සුහද ව පෙන්වා දීම, කතාවෙන් හෝ ක්‍රියාවෙන් කරදර නොකිරීම යනාදිය අපේ යුතුකම වේ.

"කවරෙක් අල්ලාහු තආලා හා අවසාන දිනය විශ්වාස කරයි ද, ඔහු තම අසල්වැසියාට ගරු කරත්වා" යැයි නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණෝ පවසා ඇත්තාහ. (බුහාරි)

ළිපෙන් පිට වන දුම, කාණුව ඔස්සේ ගලා යන අපිරිසිදු ජලය, වීසිකරන කුණු කසළ, ගුවන්විදුලිය, රූපවාහිනිය යනාදියේ අධික ශබ්දය, කුඩා දරුවන්ගේ කෙළි සෙල්ලම් යනාදිය අසල්වැසියාට උපද්‍රවයක් විය හැකි ය. එනිසා ඉහත සඳහන් ක්‍රියා හැකි තරම් පාලනය කර ගත යුතු ය.

අසල්වැසියාගේ උපද්‍රව, කරදර හැකිතාක් ඉවසා දරා ගත යුතු අතර, ඔවුන් අතර පවතින නෑකම බිඳ හෙළන්නේ නැති ව ඔවුන් සමග ආදරයෙන් හැසිරීම ද උසස් ගුණාංග වේ. අපි යහපත් ලෙස කටයුතු කළේ නම්, අසල්වැසියා අප හා යහපත් ලෙස කටයුතු කරයි යන්න අපේක්ෂා කළ හැකි ය.

එබැවින් අප අසල්වැසියන්  හා සුහද සබඳතාව රැකගනීමු. ඉස්ලාමීය මගපෙන්වීම තුළ ජීවත් වී අල්ලාහ්ගේ තෘප්තිය ලබාගනිමු.