24 - රජ වූ එඬේර ළමයා

නිල් තණ ගොල්ලේ මා සතපන්නේ
සමිඳු එඬේරාණෝ
ආදර මුවිනේ වදන් සමන් මල්
මා හද පුබුදු කෙරේ//

දෑස ම නොපියා නොනිඳා සමිඳා
පා ලිස්සීමට නොමදෙයි කිසිදා//
ගලවයි නපුරෙන් යන එන මඟ මා
පැතුම් හැමට මඟ ඔබ ඉටු දෙවිඳා//

ඉහතින් දැක්වෙන්නේ දාවිත් රජතුමා දෙවියන් වහන්සේගෙන් අත්දුටු ආදරය හා මඟ පෙන්වීම පිළිබඳ ලියැවුණු ගීතයකි. එහිදී දෙවියන් වහන්සේ තම යහපත් එඩේරාණන් ලෙස විස්තර කරයි.

            

දාවිත් රජතුමාගේ පියා ජෙස්සේ විය. දාවිත්, රජ වීමට පෙර බැටළුවන් බලා ගන්නා එඬේරෙක් විය. ඔහු තම බැටළුවන්ට කරදරයක් වීමට ඉඩ නොදී ආරක්ෂා කර ගත්තේ ය. එමෙන් ම ඔහු දක්ෂ වීණා වාදකයෙක් ද විය.

එවකට රජ කළ සාවුල් රජු දෙවියන් වහන්සේගේ අණ පරිදි ජීවත් නොවී ය. ඒ නිසා දිනක් දෙවියන් වහන්සේ සාමුවෙල් නම් දිවැසිවරයාට කතා කොට ඊශ්‍රායෙල් ජනතාව පාලනය කිරීමට අලූත් රජෙකු පත් කරන්නැයි පැවසූ සේක. ඒ සඳහා දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුව සාමුවෙල් විසින් ජෙස්සේගේ පුතා කැඳවන ලදහ. ඔවුන් අතරින් බාලයා වන දාවිත් දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි සහෝදරයන් සියලූ දෙනා ඉදිරියේ රජු ලෙස අභිෂේක කරන ලදි.

දාවිත් රජතුමාගේ යහපත් ක්‍රියා

* සැම විට ම දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය තැබීම දේව ගරු බිය දැක්වීම
* වෙනත් දෙවිවරුන්ට වන්දනා නොකිරීම
* තමාට පෙර සිටි සාවුල් රජුට තිබූ අසනීපය මිහිරි වීණා වාදනයෙන් සුව කිරීම
* තමාට වැරදි කළ අයට සමාව දීම හා තම වැරදි ගැන අවංකව දුක් වීම

යාච්ඤාව
දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමටත්
අපගේ දක්ෂතාවලින් අන් අයට සේවය කිරීමටත් අපට අවශ්‍ය
වරම් දානය කළ මැනව.
ආමෙන්.