4 - වගකීම් ඉටු කරමු

උදෑසන ම කවුළු දොරින් - ආවා හිරු රැස් බිඳක්
කුරුල්ලන්ගෙ නාද තුළින් - කීවා තොරතුරු බිඳක්
සිසිල් සුළං හමා යමින් -සැනසුවා ගත සිත බිඳක්
දක්නට ලැබුණා සතුටින් - හරි ලස්සන ලොව බිඳක්

අලූත් දිනක් උදා කළේ - අප දෙවි සමිඳුන් තමයි
මෙදින අපේ වැඩ සියල්ලේ - හිමිකරු එතුමන් තමයි
සතුට මෙන් ම දුක් කරදර- බාර ගන්නේ සමිඳුමයි
ආසිරි ලැබු අප සැම දෙන - තුති දෙන්නෙත් එතුමටයි

දසමස මා කුසේ දරා - මා හැදුවේ මගෙ මවයි
තුරුලෙ හොවා නැළවූවේ - මට ඇති සෙනෙහස නිසයි
නොයෙකුත් බාධක බිඳලා - රැක ගත්තේ මගෙ මවයි
ඇය රෝගාතුර වූ විට - බලා ගන්නෙ මා තමයි

කරදර මැද වෙහෙස දරා - මා ඇති දැඩි කළේ පියයි
දහඩිය හෙළමින් සැම දා - මා බැලූවේ මගේ පියයි
නෑ නොකියා බෑ නොකියා - හොඳ දේ මට දුන්නෙ පියයි
මහලූ වයසේ බැරිවූ විට - ඔහු හට අත දෙන්නෙ මමයි

වැරදි මඟක නොයා සිටිමු - මවුපියනට අවනත වෙමු
ගරු කරමූ කීකරු වෙමු - මවුපිය සිත් සතුටු කරමු
පැකිළීමක් නොදක්වමූ - දෙපා නැමැද සහාය වෙමූ
දෙමාපියන් අපට දුන්නු -දෙවි පියාට තුති පුදමු

අක්කා අයියා දෙස බලලා - හොඳින් ඉගෙන ගන්න බලමු
නංගි මල්ලි රැක බලලා - ඉගෙන ගන්න උදවු කරමු
ගෙදර වැඩට උදවු වෙලා - කීකරු හොඳ දරුවන් වෙමු
යහපත් දරුවන් වීලා - දෙවිපියාව සතුටු කරමු

පාසල වෙත පිය නඟමූ - පන්තිය පිරිසිදු කරමූ
දැනුම ලබා ගන්න බලමු - හොඳ දරුවන් ලෙස සිටිමූ
දුබල අයට කියා දෙමූ - හැකියාවන් බෙදා ගනිමු
අනාගතය සරු කරමූ - මතුවට රට රැක ගනිමූ

දුවමින් සෙල්ලම් කරමූ - පිත්තෙන් දස්කම් මවමූ
උඩඟුව දුරුකර ගනිමූ - ජය පැරදුම භාරගමු
ගුරු සිත් සැම නොරිදවමූ - ගුණවත් හොඳ ළමයින් වෙමු
සමිඳු සවිය ලබා ගනිමු - දෙවිඳුන් හට තුති පුදමූ

පාඩම් කරන්න. දිනපතා කියවන්න.
ආදර දෙවි පියාණෙනි, නිවසේ දීත් පාසලේ දීත් සැම තැනක
දීත් වගකීම් හොඳින් ඉටු කරන යහපත් ළමයකු වීමට අවශ්‍ය
වරම් අපට ලබා දෙන්න.