12 - වහල් බවින් නිදහස කරා

සැම ඉරුදින ම සවස ගමේ වෙල් යායේ කෙළවර පිහිටි කඳු පාමුල රැස් වී සතිය තුළ ලැබූ අත්දැකීම් විස්තර කිරීම ගමේ ළමයින්ගේ සිරිතක් විය. මේ අවස්ථාවට ගමේ සීමොන් ආතා ද එක්වෙයි. සීමොන් ආතා පැරණි කතන්දර කීමට ගජ හපනෙකි.

සසිරු : ආ... අන්න සීමොන් ආතා එනවා

ආතා : ජේසු පිහිටයි දරුවනේ, අද ඔයාලා දහම් පාසල් ගියාද? පුතාලා දිව්‍ය පූජාවටත් ගියා ද?

උදාර : ඔව් ආතේ, දිව්‍ය පූජාවේ දී පියතුමා චතාරික කාලය හා ජුදා පාස්කුව ගැන කිවුවා. ආතේ, අපිට ජුදා පාස්කුව ගැන තව ටිකක් විස්තර කියලා දෙන්නකො.

ආතා : දරුවනේ, කතෝලික අපේ උතුම් ම මංගල්‍යය තමයි පාස්කු මංගල්‍යය.

ඔව් ආතේ, අපි අහලා තියෙනවා.

ආතා : දරුවනේ කාලයක් අපේ මුතුන් මිත්තන් වන ඊශ්‍රායෙල්වරුන්ට මිසරය නැමැති රටක වහලූන් ලෙස පාරාවෝ කියා රජ කෙනෙක් යටතේ දුක් විඳින්න සිදුවුණා. එ රජතුමා අපේ මුතුන් මිත්තන්ට බොහොම වද දුන්නා. කෑමක් බීමක් නොදී බර වැඩ ගත්තා. කසපහර දුන්නා.

සසිරු : අනේ! ඇයි ආතේ, රජතුමා එහෙම කළේ?

ආතා : පාරාවෝ රජු බය වුණා කවදා හරි ඊශ්‍රායෙල් ජනතාව, මිසර ජනතාවට වඩා වැඩි දියුණු වී තම ජනතාව පාලනය කරයි කියලා. මේ නිසා ඊශ්‍රායෙල් ජනතාවගෙන් බොහෝ වැඩ කරවා ගත්තා. මේ ආකාරයට ඊශ්‍රායෙල් ජනතාව වහලූන් බවට පත්වුණා.

අජිතා : අනේ පව්! අපේ මුතුන් මිත්තො බොහෝ ම දුක් විඳලා තියෙනවානේ.

ආතා : ඔව් දුව, එත් රජතුමා එතුමාගේ පීඩන නතර කළේ නෑ. මේ පීඩා මැද ඊශ්‍රායෙල් ජනතාව දෙවියන් වහන්සේට යාච්ඤා කළා. දෙවියන් වහන්සේ ඔවුන්ට සවන් දුන්නා. ඔවුන් වහන්සේ ඊශ්‍රායෙල් ජනතාව බේරා ගැනීමේ කාර්යය මෝසෙස් තුමාට භාර කළා.

ඔව් දරුවනේ, ඔන්න එ රාත්‍රිය උදා වුණා. මෝසෙස්තුමාගේ අණ පරිදි ඊශ්‍රායෙල් ජනතාව තම නිවසෙහි උළුවස්සේ බැටළු ලෙය සලකුණු කළා. පාරාවෝ රජුගේ මුරණ්ඩුකම නිසා දෙවියන් වහන්සේ මිසර වාසීන්ගේ කුළුඳුල් පිරිමි දරුවන් මරා දැම්මා. ඊශ්‍රායෙල් ජනතාවට කිසි ම හානියක් එදා සිදු වූයේ නැහැ. අවසානයේ පාරාවෝ රජු බිය වී මෝසෙස් තුමාට ජනතාව රැගෙන යෑමට අවසර දුන්නා.

ළමයි : එදා ඊශ්‍රායෙල් ජනතාව මොනවා ද කළේ ආතේ?

ආතා : මෝසෙස් තුමා බැටළු පැටවාගේ මස් තිත්ත පලා හා නුමුහුන් රොටි සමඟ ඉක්මනින් අනුභව කර ඒ රටින් පිටවී යන ලෙස අණ කළා. ඒ අනුව ඔවුන් මිසරයෙන් පිට ව ගොස් රතු මුහුදින් එතෙර වුණා.

                     

ඊශ්‍රායෙල් ජනතාව අවුරුදු පතා මේ ජයග්‍රහණය සැමරුවා. ඔවුන් මේ සිද්ධියට ජුදා පාස්කුව යයි නම් කර පරම්පරාවෙන් පරම්පරාවට එය සැමරුවා.

ළමයි : ආතේ, ජේසුස් වහන්සේත් මේ ජුදා පාස්කුව සැමරුවාද?

ආතා : ඔව් දරුවනේ, ජුසේතුමා සහ මරියතුමිය ජේසු සමිඳුවත් ජෙරුසලෙම් දේව මාළිගයට රැගෙන ගොස මේ පාස්කුව සැමරුවා.

ළමයි : හරි අපූරු සිද්ධියක්නේ. මේ ජුදා පාස්කුව ගැන කියලා දුන්නු ආතාට ස්තුතියි.

යාච්ඤාව
ආදර දෙවි පියාණෙනි, ඔබ වහන්සේ එදා ඊශ්‍රායෙල්
ජනතාව වහල්කමින් ගලවා ගත්තාක් මෙන් පුංචි අප ද සියලූ
උවදුරුවලින් මුදා දැහැමි මඟ අප රැගෙන ගිය මැනව.
ආමෙන්.