25 - අපේ ගෙදර ආගන්තුක සත්කාරය

මගේ නම තරිඳු. ආගන්තුක අය එනවට අම්මත්, තාත්තාත් මාත් හරි ම කැමැතියි. ගිය සුමානේ ලොකු තාත්තයි, ලොකු අම්මයි, තරින්දි අක්කයි ආවා.

අපි ගේට්ටුව ළඟට ගිහිං ලොකු තාත්තලා ආදරයෙන් පිළිගත්තා. ලොකු තාත්තා රැගෙන ආ පලතුරු පෙට්ටිය තාත්තා අතට ගත්තා. ලොකු අම්මාගේ අතේ තිබුණු ගමන් මල්ල ගත්තේ අම්මා.

සියලූ දෙනා නිවසට ගොඩ වී සාලයේ වාඩි වුණා. අම්මා බන්දේසියක් මත තැබූ වතුර වීදුරු කිහිපයක් රැගෙන ආවා. අමුත්තන් වතුර පානය කරන අතරතුර අම්මා තේ පිළියෙල කළා. අම්මා සකස් කර තිබූ රසකැවිලි, බන්දේසිය මත තබා මම අමුත්තන්ට පිළිගැන්වූවා.

ලොකු තාත්තලා අපේ ගෙදර දවස් තුනක් නතරවෙලා සිටියා. ඒ දවස් තුන අප ගත කළේ හරිම සතුටකින්. ලොකු අම්මයි, ලොකු තාත්තයි එක්ක අම්මටයි තාත්තටයි කතා කරන්න හුඟක් දේවල් තිබුණා. තරින්දි අක්කා මගේ ඉගෙනීමේ වැඩ ගැන අහලා ගණන් හදන්න, චිත්‍ර අඳින්න උදවු කළා.

ලොකු තාත්තලා ආපසු යන දවසේ මට දැනුණේ හරි ම දුකක්. ඊළඟ නිවාඩුවටත් අපේ ගෙදර එන්න තරින්දි අක්කා පොරොන්දු වුණා. අම්මයි තාත්තයි මමයි ලොකු තාත්තාටයි ලොකු අම්මාටයි වැන්දා. මම තරින්දි අක්කාටත් වැන්දා. තරින්දි අක්කා අපේ අම්මාටයි තාත්තාටයි වැන්දා. "ආගන්තුක සත්කාරයට බොහොම පින්." ඒ ලොකු තාත්තාගේ වචනයි. "ඕවා ඉතින් අපට අලූත් දේවල් නොවෙයිනේ. බුදු හාමුදුරුවොත් ආගන්තුක සත්කාරය උසස් දෙයක් බව දේශනා කරලා තියෙනවානේ," තාත්තා කීවා.

අපි අපේ වත්තේ වස විස නැතිව වගා කළ එළවළු සහිත පෙට්ටියක් ලොකු තාත්තලාට ගෙන යාමට සූදානම් කර දුන්නා. තාත්තයි, අම්මයි, මමයි ලොකු තාත්තලා එක්ක පාරට ගියා. "නිවාඩුවක් ලැබුණු වේලාවක අපිත් ඇවිත් යන්න එන්නම්," තාත්තා කීවා. නෑදෑයන් ගියාට පස්සෙ මට ඇතිවුණ දුක සවස තෙරුවන් වඳින තුරු ම අඩු වුණේ නැහැ.