17 - දන් දෙමු පින් පුරමු

එදින ගුරුතුමිය කියා දුන් බුද්ධ ධර්මය පාඩම ගැන සිතමින් යසිරු ගෙට ගොඩවිය.

යසිරු:- අම්මේ, අද අපට ගුරුතුමී ළමා නිවාසවල ඉන්න යාළුවෝ ගැන කියා දුන්නා. ඒ අයට අවශ්‍ය දේවල් දෙන්න පුළුවන් නම් ඒක වටිනා පින්කමක් බව ගුරුතුමී කිවුවා.

අම්මා:- ඔව් පුතේ, හාමුදුරුවන්ට අපි දානය දෙනවා වගේ ම ළමා නිවාසවල, වැඩිහිටි නිවාසවල ඉන්න අයට අවශ්‍ය දේවල් දීමත් දානයක්. දුගී මගී යාචකයන්ට අවශ්‍ය දේවල් ලබා දීමත්, රෝහලකට අවශ්‍ය දෑ ලබා දීමත් දානයක්. ජීවත් වෙන්න අඩුපාඩුකම් ඇති අයට අවශ්‍ය දේ ලබා දීමත් දානයක්. අපි හාමුදුරුවන්ට දානය පූජා කරන්නේ ශ්‍රද්ධාවෙන්. එය පූජා බුද්ධියෙන් දෙන දානයක් ලෙස හැඳින්වෙනවා. ඒත් අපි අනෙක් අයට දානය දෙන්නේ අනුකම්පාවෙන්. එය අනුග්‍රහ බුද්ධියෙන් ලබා දෙන දානයක් හැටියටයි හඳුන්වන්නේ.

යසිරු:- අපි ලබන සුමානේ සුමිතුරු ළමා නිවාසයට දානයක් දෙන්න යනවා කියලා ගුරුතුමී කිවුවා.

අම්මා:- ඒක නම් හොඳයි. පුංචි කාලෙ ම පාසලෙන් මේ වගේ හොඳ දේවල් හුරු කරවීම බොහොම වටිනවා. ඉතින් පුතාලා මොනවා ද ඒ අයට ගෙනියන්නේ?

යසිරු:- පොත්, පෑන්, පැන්සල්, අනෙක් පාසල් උපකරණ, කිරිපිටි, සීනි වැනි ආහාර ද්‍රව්‍ය, බිස්කට්, චොකලට් වැනි රස කැවිලි ගේන්න කියලා තමයි ගුරුතුමී කිවුවේ.

අම්මා:- එහෙනම් පුතේ ගෙනියන්න අවශ්‍ය දේවල් තාත්තා වැඩ ඇරිලා ආවට පස්සේ කඩෙන් අරගනිමු.

යසිරු:- මගේ උපන් දිනයට තෑගි ලැබුණු පොත්, පැන්සල් තියෙනවනේ අම්මේ. මං හිතුවා ඒ තෑගිවලින් කොටසක් ඒ යාළුවන්ට දෙන්න.

අම්මා:- ඒක නම් හොඳ අදහසක් පුතේ.

ළමා නිවාසයට යන දවස වන විට එහි ගෙනයාම සඳහා බොහෝ දේ රැස්කර තිබුණි. අවශ්‍ය දෑ බොහෝමයක් තාත්තා මට ගෙනවිත් දුන්නේ ය.

ළමා නිවාසයට යන දවස උදා විය. අප සමඟ අම්මා ද ගමනට එක් විය. පන්තියේ සැම දෙනාගේ ම සහභාගිත්වයෙන් ළමා නිවාසයට අවශ්‍ය දේවල් රාශියක් එකතු කර ගත හැකිවීම ගැන ගුරුතුමී අපට ද දෙමාපියන්ට ද ස්තුති කළා ය. එහි ගිය විට ඒ අය අප පිළිගත්තේ හදපිරි සතුටිනි.

අපි අම්මලා තාත්තලාගේ ද උදවු ඇතිව ළමා නිවාසය හා වටපිටාව අතුගා පිරිසිදු කළෙමු. පුංචි නංගිලා මල්ලිලා නාවා පිරිසිදු කළේ, අපේ අම්මලා ය. ඉන්පසුව ආහාර ගන්නා ස්ථානයේ ඔවුන් වාඩි කරවූයේ ළමා නිවාසයේ පාලිකාවන් වන නැන්දලා විසිනි. අප ගෙන ගිය ආහාර වර්ග දෙන විට ඔවුහු අපට ස්තූති කළහ. කා බී අවසන් වූ පසු අපි එළිමහනේ පුටු තබා රවුමකට වාඩි වුණෙමු. අප සැම එක්ව ගී කියමින් නැටුවෙමු. ඒ අයත් ගායන, රංගන ඉදිරිපත් කළහ.

ඉන් පසුව අප ගෙන ගිය තෑගි පාර්සල් යාළුවන්ට දෝතින් ම ලබා දුන්නෙමු. ඒවා ලබාගෙන ඔවුහු අපට “බොහෝම ස්තුතියි” කීවෝ ය. නිවාසය භාරව කටයුතු කරන නැන්දා ද අපට ස්තුති කළා ය; කරන ලද පින්කම් අගය කළා ය. අප සැම නැවත පාසල වෙත පැමිණියේ ඉතා සතුටිනි.

                                                                                           

එදින සවස තාත්තා පැමිණි පසු අම්මාත් මමත් ළමා නිවාසයට දුන් දානය පිළිබඳ තොරතුරු කීවෙමු. ඒ තොරතුරු අසා සිටි තාත්තා “පුතාගේ උපන් දිනයට ඒ ළමා නිවාසයට අපිත් දානයක් දෙමු,” යැයි කීවේ ය. එය අසා යසිරු ඉතා සතුටට පත් විය.