9 - නීරෝගීමත් හෙට දවසක්

කුක්කු කූක් නාදය ඇසෙයි. දිනෙත්ගේ අම්මා උදේ ම අවදි වී උදෑසන ආහාරය පිළියෙල කරයි. දිනෙත් අවදි වෙයි; මිදුලට දුවයි. කුරුලූ නාද දසතින් ඇසෙයි. වත්ත පුරා සීතල සුළඟක් හමා යයි. මිදුල අතු ගා පිරිසිදු කරන දිනෙත්ගේ සිතට මහත් සතුටක් දැනෙයි.

දිනෙත් දත් මැද මුහුණ කට සෝදා ගනියි; පිරිසිදු ඇඳුමෙන් සැරසෙයි. වත්තේ මල් පිපී සුවඳ හමයි. ඔහු වට්ටිය ගෙන මල් නෙළයි. දිනෙත් මල් ධෝවනය කර, පහන පත්තු කර බුදුරජාණන් වහන්සේට පූජා කරයි; නිවැරැදි ඉරියව්වෙන් බුදුන් වඳියි; පොත් පාඩම් කරයි.

                                                                          

“පුතේ එන්න කෑම කන්න,” අම්මා ඔහුට කතා කරයි.

“ආ.... අද අම්මා මුං ඇට තම්බලා. මං හරි ම ආසයි.”

“ඔව්, පුතේ උදේට ඇට වර්ග, අල වර්ග වගේ දේවල් කන එක හොඳයි,” තාත්තා කියයි.

“අපේ ගුරුතුමී හැම වෙලාවෙ ම කියා දෙනවා උදේ ආහාරයේ වැදගත්කම ගැන,” දිනෙත් පවසයි.

දිනෙත් අම්මාටත් තාත්තාටත් වඳියි. “මගේ පුතාට තෙරුවන් සරණයි!” අම්මා කියයි. “මගේ පුතාට දළදා හාමුදුරුවන්ගෙ සරණයි!” තාත්තා කියයි. දෙමාපිය ආශීර්වාදය ලබා ගෙන ඔහු උදේ ම පාසල වෙත යයි; පාසලේ දී හමු වන යහළුවන්ට ‘ආයුබෝවන්! තෙරුවන් සරණයි!’ කියමින් සුබ පතයි. පන්තියේ වැඩ හොඳින් කරයි; ගුරුතුමියගෙන් ප්‍රශංසා ලබයි. පාසල නිම වී දිනෙත් නිවසට පැමිණෙයි.

සපත්තු දෙක ගලවන ඔහු ඒවා නිසි තැන තබයි; පොත් බෑගය ගෙන කාමරයට ගොස් මේසය මත පොත් තබා බෑගය නිසි තැන තබයි; ඇඳුම් වේළෙන්නට දමයි; පාසලේ දී ඉගෙන ගත් දේ ගැන අම්මා සමග පවසයි. ඔහුගේ පොත්පත් බලන අම්මා සතුටු වෙයි. “මගේ හොඳ පුතා!” කියමින් අම්මා දිනෙත්ගේ හිස අතගායි. ඔහු දිනපතා නෑමෙන් පසු පිරිසිදු ඇඳුමකින් සැරසී දහවල් ආහාරය ගනියි.

“අද කොළ මැල්ලූම හරි ම රසයි අම්මේ,” දිනෙත් කියයි. “ඔය අපේ ම කතුරුමුරුංගා ගහේ කොළ. වස විසත් නැහැනේ. බොහොම ගුණ කෑමක්,” මව පවසයි. කෑම කා පිඟාන හොඳින් සෝදා පිරිසිදු කර පිඟන් රාක්කයේ තබන ඔහු වතුර බීමෙන් පසු වීදුරුව ද නිසි තැන තබයි. දිවා ආහාරයෙන් පසු දිනෙත් පලතුරක් ආහාරයට ගැනීමට පුරුදු වී සිටියි. අඹ, කෙසෙල්, ගස්ලබු වැනි පලතුරක් කන ඔහු සිත නිවන ගීතයකට සවන් දෙයි. පසුව ඔහු වයලීනය වාදනය කරයි. ඉන්පසු ව වත්තේ බංකුව මත වාඩි වී කතන්දර පොතක් කියවයි. වත්තේ ගහකොළ නිසා ඔහුට පිරිසිදු වාතාශ්‍රය ලැබෙයි.

දිනෙත් පාසලෙන් දුන් ගෙදර වැඩ අවසන් කරයි. මුහුණ කට සෝදා පිරිසිදු වන ඔහු මල් නෙළා අම්මා හා තාත්තා සමග බුද්ධ වන්දනාව සිදු කරයි; අනතුරුව මෛත්‍රී භාවනාව කරයි. දෙමාපියන් සමග රාත්‍රි ආහාරය ගන්නා ඔහු එදින සිදු වූ තොරතුරු ඔවුන් සමග සුහදව කතා බහ කරයි. රාත්‍රි නින්දට පෙර දිනෙත් දත් මැද මුහුණ අතපය සෝදා ගැනීමට අමතක නොකරයි; අම්මාට තාත්තාට වැඳ සතුටු සිතින් නින්දට යයි.