20 - සිල් සුවඳ පතුරමු

"අම්මේ මෙවර වෙසක් පෝයට අපි සිල් සමාදන් වෙනවා. අපේ ගුරුතුමී පෙර පෝය වැඩසටහනක් හදලා අප ඒ ගැන දැනුම්වත් කළා, ධර්ම දේශනා, බුද්ධ පූජා පෙරහැර, භාවනා වැඩසටහන්, ජාතක කතා හා පිරිත් දේශනා ඊට ඇතුළත් කරලා තිබුණා,” පාසලේ සිට පැමිණි සතික අම්මාට කීවේ ය.

"ඔව් පුතේ, සිල් වැඩසටහනකින් සිත, කය හා වචනය යනතුන ම සංවර කර ගැනීම සිදුවෙන්න ඕන. ඒ විදියට වැඩසටහන සකස් කරලා ඇති,” අම්මා කීවා ය.

"පාසල පිරිසිදු කරන්නයි, වෙසක් සැරසිලි කරන්නයි අම්මලාටත් එන්න කිවුවා,” සතික කීවේ ය.

වෙසක් කූඩු, බෞද්ධ කොඩි වැල්, රැලි පටි හා දම්වැල් සකස් කිරීම එක් එක් පන්තිවල සිසුන්ට පවරා තිබුණි. වෙසක් සැරසිලි සඳහා පොලිතීන් භාවිත නොකරන ලෙස ගුරුතුමිය සිසුන් දැනුම්වත් කළා ය.

වෙසක් පොහොය දින සතික උදෙන් ම අවදි විය. ඔහු දත් මැද මුහුණ සේදුවේය, පිරිසිදු සංවර සුදු ඇඳුමෙන් සැරසී, උතුරු සළුව හැඳ අම්මා සමග පාසල වෙත පියනැගුවේ ය.

එදින පාසල පන්සලක අසිරිය ගෙන තිබුණි. ශබ්ද විකාශන යන්ත්‍රයෙන් බුදු ගුණ ගීත ප්‍රචාරය වෙමින් තිබුණි. පාසලේ වෙසක් අසිරිය සිසුන්ගේ සිල් සමාදන් වීමේ ආශාව තවත් වැඩි කළේ ය.

"මේ දැනුම් දීම සියලූ ම දූ පුතුන්ටයි. සිල් සමාදන් වීම සඳහා සියලූ ම දූ දරුවන් ප්‍රධාන ශාලාව වෙත පැමිණ හිඳ ගන්න. සිල් සමාදන් කරවීම සඳහා ස්වාමීන් වහන්සේ වැඩමවීමට කටයුතු සූදානම්,” යනුවෙන් නිවේදනය කෙරිණි.

මුතු කුඩය යටින් වඩින ස්වාමීන් වහන්සේගේ පා ධෝවනය සතිකට ද පා පිස දැමීම දිනෙත්ට ද පැවරී තිබුණි. ශාලාව මැද එළා තිබූ පාවඩය මතින් ස්වාමීන් වහන්සේ ධර්මාසනය වෙත වැඩම කළහ. එවිට සියලූ දෙනා ම නැගිට සාධු නාද පැවැත්වූහ.

අටසිල් සමාදන් වීම සඳහා සූදානම් වන ලෙස ස්වාමීන් වහන්සේ දැන්වූ පසු සියලූ දෙනා සිල් ඉල්ලීමේ වාක්‍යය කීවෝ ය.

ඕකාස අහං භන්තේ තිසරණේන සද්ධිං
අට්ඨංග උපෝසථ සීලං ධම්මං යාචාමි
අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ
අනුකම්පං උපාදාය

සිසුන් සිල් සමාදන් කරවීමෙන් අනතුරුව ස්වාමීන් වහන්සේ දේශනා කළේ පුංචි උපාසක උපාසිකාවන් අද දවසේ සංවරව, සංසුන්ව සිටිය යුතු බව ය. හොඳින් සීලය ආරක්ෂා කර ගත යුතු බව ය.

ඊළඟට පුංචි පෙරහැරක් සංවිධානය කර බුද්ධ පූජාව තැන්පත් කරන ලදි. සියලූ දෙනා ගාථා සජ්ඣායනා කරමින් බුද්ධ පූජාව පූජා කළහ.

හීල් දානය ගත් සිසුහු ධර්ම දේශනාවකට සවන් දුන්හ. වෙසක් පොහොය පිළිබඳ කරුණු රාශියක් එම ධර්ම දේශනයෙන් ඔවුනට දැනගත හැකි විය.

භාවනා වැඩසටහන සැම දෙනාගේ ම සිත සංවර කර ගැනීම සඳහා වැදගත් වන බව ස්වාමීන් වහන්සේ දේශනා කළහ. සැබැවින් ම සිසුන් නිහඬව, සංවරව භාවනාවට එක් වීම ගැන ගුරුවරු සහ දෙමාපියෝ බෙහෙවින් සතුටු වූහ.

අනතුරුව දහවල් බුද්ධ පූජාව පූජා කළ ඔවුහු දහවල් දානය සඳහා සූදානම් වූහ. දානය ගැනීමට පෙර දානය සකස් කර දුන් සැමට පින් ලබා දීමේ වාක්‍යය ගුරුතුමිය විසින් කියවන ලදි.

"වණ්ණුපථ ජාතකය” ඇසුරින් ස්වාමීන් වහන්සේ කළ ධර්ම දේශනය කාගේත් සිත් ගත්තේ ය.

සියලූ ම ගුරු මෑණිවරු, පියවරු හා දූ දරුවෝ එක් ව කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කළහ.

සවස ස්වාමීන් වහන්සේ වැඩම කර සිසුනගේ සිල් පවාරණය කරවූහ. සතික අම්මා ළඟට පැමිණ අම්මාට වැන්දේ ය.

"පුතාලගේ සිල් වැඩසටහන හරි ම අගෙයි,” අම්මා කීවා ය.

"අම්මේ මං ඊළඟ පෝය දවසට පන්සලේ සිල් සමාදන් වෙනවා,” සතික කීවේ ය.

"මගේ පුතාට තුනුරුවන් සරණයි!” කියමින් අම්මා සතිකගේ හිස අතගෑවා ය.