9 - දේව සබඳතාව වර්ධනය කර ගනිමු

අප සැම දෙවි පියාණන් වහන්සේගේ දරුවෝ වෙමු. එම නිසා දෙවියන් වහන්සේ හා අප අතර නිරන්තර සම්බන්ධතාවක් පවත්වා ගත යුතු ය. දෙවියන් වහන්සේත් අපත් අතර සම්බන්ධතාව පවත්වා ගැනීමේ හොඳ ම ක්‍රමය යාච්ඤාවයි. දෙවියන් වහන්සේට ප්‍රසන්න යාච්ඤාවක් ඉදිරිපත් කරන ආකාරය මෙම පාඩමෙන් ඉගෙන ගනිමු.


යාච්ඤාවක් කරන සැම විට ම දෑත් එක්ව තබා, දෙ ඇස් පියා ගැනීමට කුඩා කාලයේ සිට ම දෙමාපියන් හා වැඩිහිටියන් අපට උගන්වා ඇත. හැකි අවස්ථාවල අපේ දෙදණ නමා දෙවියන් වහන්සේට නමස්කාර කරමින් උන්වහන්සේ ඉදිරියෙහි යටහත් වීම සුදුසු වේ. අප දෙවියන් වහන්සේට කතා කිරීමත් සමග ම උන්වහන්සේගේ හෙඬට සවන්දිය යුතු ය.


යාච්ඤාව අංග පහකින් යුක්ත ය. ඒවා නම්,

ප්‍රශංසාව - (ක්‍රියා 16:25)
යාච්ඤාවක් ආරම්භ කළ යුත්තේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමෙනි. උන්වහන්සේ ප්‍රශංසාව මැද වැඩ සිටින සේක. ගීත ගායනා කරමින් ද උන්වහන්සේට ප්‍රශංසා කළ හැකි ය. ප්‍රශංසා මගින් දෙවියන් වහන්සේගේ ගුණ ගායනා කිරීම ද කළ හැකි ය. ක්‍රියා 16:25 හි පාවුලූ තුමා හා සීලස් සිරගතව සිටිය දීත් යාච්ඤා කරමින් ගී ගැයූ බව සඳහන් වේ.

ස්තුති දීම - (කොලොස්සි 1:3)
දෙවියන් වහන්සේට අප යාච්ඤා කරන විට ස්තුතිවන්ත සිතින් උන්වහන්සේට තුති පිදිය යුතු ය. මේ දක්වා උන්වහන්සේ අපට කර ඇති සියලූ ක්‍රියා ගැන ද අපට ලබා දී තිබෙන සියලූ ආශීර්වාද ගැන ද ස්තුති කරමු. විශේෂයෙන් දෙවියන් වහන්සේගේ එක ම පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන්  වහන්සේ අප වෙනුවෙන් මේ ලෝකයට එවීම ගැන ද තුති දිය යුතු ය. උන්වහන්සේ අපගේ අවශ්‍යතා දන්නා සේක. උන්වහන්සේගෙන් අප ඉල්ලු දේ ලැබුණ ද නොලැබුණ ද උන්වහන්සේ අපට දක්වන ආදරයට ස්තුති දෙමු.


කමාව අයැදීම - (ගීතාවලිය 51:1-2)
දිනපතා අප අතින් දැනුම්වත්ව හා නොදැනුම්වත්ව වැරදි සිදු වේ. මෙම වැරදි දෙවියන් වහන්සේට විරුද්ධවත් අපේ සහෝදර ජනතාවට විරුද්ධවත් සිදුවන වැරදි විය හැකි ය. මේ වැරදිවලට අප දෙවියන් වහන්සේ ඉදිරිපිට පසුතැවිලි වෙමින් කමාව ලබා ගත යුතුයි. එලෙස ම එම වැරදි නැවත නොකිරීමට ද අධිෂ්ඨාන කර ගත යුතුයි. දාවිත් ශ්‍රේෂ්ඨ රජ කෙනකු වුවත් ඔහු තම වරද පිළිගෙන පසුතැවිලි වී දෙවියන් වහන්සේගේන් කමාව අයැද ස ිටි ආකාරය ගීතාවලිය 51:1-2 හි සඳහන් වේ.


අන්‍යයන් වෙනුවෙන් යැදීම - (ක්‍රියා 13:3)
අප කරන යාච්ඤාවේ දී අන්‍යයන් වෙනුවෙන් යාච්ඤා කිරීම ද ඉතා වැදගත් වේ. අපේ නෑදෑ හිතමිත්‍රාදීන්ගේ අවශ්‍යතා ගැන ද යාච්ඤා කළ යුතුය්. එලෙස ම අප නොදන්නා, වෙනත් දේශවල ජීවත් වන පීඩා විඳින්නන්, රෝගීන් සහ සියලූ ආකාර අගහිඟකම් ඇති අය වෙනුවෙන් ද අප යාච්ඤා කළ යුතු වේ.

පෞද්ගලික යාච්ඤාව - (ක්‍රියා 10:1-4)
අවසානයට අපගේ අවශ්‍යතා ගැන දෙවියන් වහන්සේට කරුණු ඉදිරිපත් කළ යුතු ය. එදිනෙදා ජීවිතයේ දී මුහුණ දෙන ප්‍රශ්න, ගැටලූ, අසනීප තත්තව, පීඩාකාරී අවස්ථා සහ අවශ්‍යතා වෙනුවෙන් උන්වහන්සේට යාච්ඤා කළ යුතු ය.


දේව දරුවන් වන අපට අවශ්‍ය දේ දෙවියන් වහන්සේ සුදුසු ආකාරයෙන් ලබා දෙනු ඇත. කිතුනු දරුවකු ලෙස ජීවත් වීමේ දී යාච්ඤාව තම ජීවිතයේ අත්‍යවශ්‍ය කාරණයක් වේ. යාච්ඤාව තුළින් අපට දෙවියන් වහන්සේ සමග සම්බන්ධ විය හැකි ය.

මම මගේ දෙවියන් වහන්සේට නොකඩවා යාච්ඤා කරමින්
උන්වහන්සේ සමග දේව සබඳතාව පවත්වා ගනිමි!