13 - අපි විහාර ගෙයක් නැරඹුවෙමු

පෝය දිනට පසු දින පාසලට කිට්ටුව ම තිඛෙන පුරාණ රජ මහා විහාරස්ථානය වෙත යාමට ගුරු මෑණියන් කටයුතු සංවිධානය කර තිබුණි. පෙර දින දැනුම් දුන් පරිදි අප, පාසල වෙත පැමිණියේ වන්දනාවට අවශ්‍ය තෙල්, මල්, පහන්තිර සහ හඳුන්කූරු යනාදිය රැගෙන ය.


ගුරු මෑණියන් සමගින් අපි පේළියට සංවර ව විහාරස්ථානය වෙත පියමන් කළෙමු. පාවහන්, හිස්වැසුම් ගලවා පිළිවෙළකට තැබූ අපි විහාර භූමියට ඇතුළු වුණෙමු.


වන්දනාවට පෙර අපි මළු ඇමද, මල් ආසන පිරිසිදු කළෙමු. අත් ධෝවනය කර පිළිවෙළින් වෙහෙර වහන්සේට හා බෝධීන් වහන්සේට මල්, පහන් හා සුවඳ දුම් පූජා කළෙමු. අනතුරුව දෝතින් මල් ගෙන අප පා නැඟුවේ විහාර මන්දිරය වෙත ය.


විහාරයට ඇතුළු වෙත් ම මහා කරුණාව උතුරා යන බුදුරජාණන් වහන්සේගේ මුහුණ දුටු අපගේ සිත් පහන් විය. මල් ආසනය මත මල් පූජා කළ අපි දොහොත් මුදුන් තබා සාදුකාර පැවැත්වූවෙමු.


"දැන් මගේ දුවලා පුතාලා හැමෝම වාඩි වෙන්න. බුදුරජාණන් වහන්සේ දෙස සුළු මොහොතක් හොඳින් බලාගෙන ඉන්න,” යැයි ගුරුතුමිය පැවසුවා ය. "බලන්න දුවේ, පුතේ, බුදුරජාණන් වහන්සේගේ මුහුණෙහි ප්‍රසන්න බව, කරුණාව හා ශාන්ත බව පිරිලා ඉතිරිලා තියෙනවා නේද? බුදුරජාණන් වහන්සේ වටා තියෙන බුද්ධ රශ්මි මාලාව

හරිම අලංකාරයි නේද? ඒ රැස් මාලාව වටා තියෙන චිත්‍ර හරි ම ලස්සනයි නේද?” ගුරුතුමිය ඇසුවා ය.


"ඔව්, ගුරු මෑණියනි. බුදුරජාණන් වහන්සේගේ දෙපැත්තේ සිටගෙන වැඩ සිටින්නේ අගසවු දෙනම නේද?” ඉසුරු ඇසුවේ ය.


"ඔව් පුතේ අපි ගිය අවුරුද්දේ ඉගෙන ගත්තානේ. නිල් පාටින් අඹලා තියෙන්නේ මුගලන් මහ රහතන් වහන්සේ. කහ පාටින් අඹලා තියෙන්නේ සැරියුත් මහ රහතන් වහන්සේ. අපි මෙවැනි පිළිම හිටි පිළිම වශයෙන් හඳුන්වනවා.”


"මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම පෙන්වන පිළිමයයි. මෙවැනි පිළිමවලට සැතපෙන පිළිම කියලා කියනවා.”


"ගුරුතුමී, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ වෙලාවේ හඬමින් ළඟට ම වෙලා ඉන්නේ ආනන්ද හාමුදුරුවෝ නේද?”


"ඔව් දුවේ, ආනන්ද හාමුදුරුවෝ තමයි.”


"මේ බලන්න ගුරු මෑණියනි, බුදුරජාණන් වහන්සේගේ හිඳි පිළිම වහන්සේ හරි ම ශාන්තයි. ශරීරය වටේට ම තියෙන බුදු රැස් මාලාවත් හරි ම ලස්සනයි,” රන්දි කීවා ය.


"ඔව් දුවේ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වන්න තමයි පිළිම හදන නිර්මාණ ශිල්පීන් මේ තරම් අලංකාරව මේ පිළිම නිර්මාණය කරලා තියෙන්නේ. බුදු රැස් මාලාව වටා මල් වැල්, ලිය වැල්, මෝස්තර හරි ම අපූරුවට සිතුවම් කරලා තියෙනවා. අපි දැන් විහාර ගෙය වටා තියෙන සිතුවම් නරඹමු.”

"ගුරුමෑණියනි, මේ සිදුහත් කුමරු ඉපදිලා නෙළුම් මල් මත ඇවිදගෙන ගිහින් ප්‍රීති වාක්‍ය කියූ අවස්ථාව නේද චිත්‍රයට නඟලා තියෙන්නේ?” ඉෂාරා ඇසුවා ය.


"මේ දූලා පුතාලා හොඳට බලා ගන්න. මේ බිත්තිය පුරා ම බුද්ධ චරිතයේ විවිධ අවස්ථා චිත්‍රයට නංවලා තියෙනවා.”


"අර බලන්න, සිදුහත් කුමරුගේ ගිහිගෙය හැර යෑම.”


"අනේ ගුරුතුමී කන්ථක අශ්වයා ඇත්තට ම අඳිනවා වගේ නේද?” ඉසුරු කීවේ ය.


"ගුරුතුමී, මටත් පුළුවනි මේ චිත්‍රය මේ වගේ ම අඳින්න,” දිනෙත් කීවේ ය.

"ඔව් පුතේ, පුතාලා විහාර ගෙය නරඹලා දැකපු දේවල් අඳින්න ඕනෙ. ඒ නිසා මේ චිත්‍ර, මෝස්තර රටා ඇඳලා තියෙන ආකාරය හොඳින් බලා ගන්න ඕනෙ,” ගුරුතුමී කීවා ය.


"ගුරුතුමී, මේ මල් මෝස්තරවල වැඩිපුර ම තියෙන්නේ නෙළුම් මල නේද?” පසන් කීවේය.


"ඔව් පුතේ, අර බලන්න විහාර ගෙයි වහලයේ තියෙන මෝස්තරවලත් නෙලූම් මල ප්‍රධාන තැනක් අරගෙන තියෙනවා.”


"දැන් අපි ඊළඟට එහා පැත්ත බලමු.”


"පසන්, මේ බලන්න සාම ජාතකය,” ඉසුරු කීවේ ය. "මේ තිත්තිර ජාතකය, අර කුරුංගමිග ජාතකය. අපි ඉගෙන ගත්ත ජාතක කතා නේද ගුරුතුමී? අපේ පොතේ තිබුණ චිත්‍ර වගේමයි,” රනුමි කීවා ය.


"ඔව් දුවේ පුතේ, ජාතක කතා ගොඩක් චිත්‍රයට නඟලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ජාතක කතාවල නමත් යටින් සඳහන් කරලා තියෙනවා. අප මහා බෝසතාණන් වහන්සේගේ පෙර ආත්මවල කතා තමයි මේ ජාතක කතාවලින් පිළිබිඹු වෙන්නේ,” ගුරුතුමිය විස්තර කර දුන්නා ය.


"මේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ පිළිම. මේ බුදුපිළිම පිටුපස බුදුවීමට සෙවණ ලබා දුන් වෘක්ෂ තමයි ඇඳලා තියෙන්නේ,” ගුරුතුමිය ප්‍රකාශ කළා ය.


"මේ බලන්න, දුවේ පුතේ, දිව්‍ය ලෝකය. දෙවිවරුන් සුර සැප විඳිමින් සිටින අවස්ථාව හරි ම ලස්සනට චිත්‍රයට නඟලා තියෙනවා. හොඳ වැඩ කළ අය මැරුණා ම දිව්‍යලෝකෙ උපදිනවා.”

"අම්මෝ..... ගුරුතුමී මේ තියෙන්නේ අපාය නේද? මට නම් බයේ බෑ.”


"ඔව් පුතේ බොරු කියන, සොරකම් කරන, වැරැදි වැඩ කරන අය මැරුණා ම අපායේ උපදිනවා. අර පේනවද යමපල්ලෝ බොරු කියපු අයගේ කටට ලෝදිය වත්කරනවා.”


අපි විහාර මන්දිරයෙන් එළියට ආවෙමු.


"දැන් ආපසු හැරිලා බලන්න දුවේ පුතේ, මේ දොර උළුවහුවල තියෙන කැටයම් කලාව. මේවා බොහොම සියුම් ලෙස නිම කරලා තියෙනවා.”


"ගුරු මෑණියනි, අද තමයි අපි හරියට ම විහාර ගෙයක් නැරඹුවේ,” යි සිසුහු සියලූ ම දෙනා කීවෝ ය.


"ඔව්, දුවේ පුතේ විහාර ගෙය නරඹලා අද අපි ගොඩක් දැනුම රැස් කර ගත්තා. බොහොම ශ්‍රේෂ්ඨ නිර්මාණ විහාර මන්දිරයේ තිබුණා. අපේ මුතුන්මිත්තෝ සමහර දේවල් නිර්මාණය කරලා තියෙන්නෙ කොහොම ද කියලා පුදුම හිතෙනවා.”


"විහාර මන්දිරය අගනා බෞද්ධ කලා නිර්මාණයක්. අපිත් පාසලට ගිහින් විහාර ගෙය නරඹලා ලබා ගත්ත අත්දැකීම් එකතු කරලා බිත්ති පුවත්පතක් නිර්මාණය කරමු,” යි ගුරුතුමිය කීවා ය.