15 - පෙර පෝය වැඩසටහන

බෞද්ධ සංගමයේ නායක නායිකාවෝ නාමලී ගුරුතුමිය හමුවෙති.


"දුවේ, පුතේ, ඔයාලා දන්නවානේ, අපට පැවරී තියෙන කටයුත්ත. හෙට පෝය නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම සාකච්ඡාවට අවශ්‍ය කටයුතු සංවිධානය කරන්න ඕන. අපි මේ වෙනකොට ධර්ම සාකච්ඡාව සඳහා ස්වාමීන් වහන්සේට ආරාධනා කරලයි තියෙන්නේ. අපට ඉතිරි වැඩ කටයුතු සංවිධානය කරගන්න තියෙනවා.
     බෞද්ධ කොඩි දමා සැරසිලි කිරීම දෙමාපියන්ට භාර දෙමු.
     ධර්ම සාකච්ඡාව සඳහා ස්ථානය පිළියෙල කළ යුතුයි.
     ධර්ම සාකච්ඡාවට සහභාගි වන සිසුන්, පැදුරුවල පේළියට වාඩි කරවිය යුතුයි.

     ස්වාමීන් වහන්සේගේ ධර්මාසනයටත්, මේසයටත් සුදු පිරුවට දැමිය යුතුයි.
     ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ඔරලෝසුව හා පැන් වීදුරුව තැබිය යුතුයි. පාවාඩ එළීම හා පා ධෝවනය කිරීමට අවශ්‍ය දේවල් සූදානම් කිරීම ප්‍රධාන ශිෂ්‍ය නායකයා කළ යුතුයි.


ධර්ම සාකච්ඡාවට අදාළ මාතෘකාව ඔස්සේ ප්‍රශ්න කිහිපයක් අපි පන්තියේ දී සකස් කරමු.


ධර්ම සාකච්ඡාවට ස්වාමීන් වහන්සේ වැඩම කිරීමට විනාඩි 5 කට පෙර සියලූ දෙනා ශාලාවේ අසුන් ගැන්වීමට ශිෂ්‍ය නායක මණ්ඩලය කටයුතු කරන්න ඕනෙ.”



ස්වාමීන් වහන්සේ වැඩම කරන විට නාමලී ගුරු මෑණියන් හා එක් ව සියලූ ම දෙනා නැඟී සිටිමින් "සුපටිපන්නෝ භගවතෝ.......” ගාථා පාඨය කියන්නට වූහ.
ස්වාමීන් වහන්සේ ධර්මාසනයේ වැඩ සිටීමෙන් අනතුරුවදැහැත් වට්ටිය පිළිගන්වා ධර්ම සාකච්ඡාවට ආරාධනා කරනු ලැබුවේ විදුහල්පතිතුමා විසිනි.


ස්වාමීන් වහන්සේ හඳුන්වාදීම, පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීම පන්ති භාර නාමලී ගුරුතුමිය විසින් සිදු කරන ලදි.


ස්වාමීන් වහන්සේ පිරිස තිසරණ සහිත පන්සිල් හි පිහිටුවා ධර්ම සාකච්ඡාව ආරම්භ කළ සේක. ළමයින් පෙර සූදානම් කරගෙන තිබූ දහම් ගැටලූ ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කළ අතර, ස්වාමීන් වහන්සේ ඒවාට පිළිතුරු ලබා දුන්හ.

ධර්ම සාකච්ඡාව අවසානයේ ස්වාමීන් වහන්සේට දහම් පඬුරු පූජා කිරීමත්, ගිලන්පස පූජා කිරීමත් සිදු විය. ස්වාමීන් වහන්සේ ආපසු වැඩම කරන අවස්ථාවේ සියලූ ම දෙනා, "සීලවන්තං ගුණවන්තං” යන ගාථාව තාලයකට ගායනා කරමින් මහා සංඝරත්නයට වන්දනා කළහ.