11 - සම්මෝදමාන ජාතකය

එක් කලෙක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුර නිග්‍රෝධාරාමයේ වැඩ සිටි සේක. එකල තම නෑයන් අතර ඇති වූ අසමගි වීමක් අරබයා බුදුරජාණන් වහන්සේ, දබර කිරීම නුසුදුසු ය යනුවෙන් දේශනා කළ සේක. තිරිසන් සත්ත්වයන් පවා සමගි වී තම පසමිතුරන් පරාජය කළ බවත්, අසමගි වී විපතට පත් වූ බවත් පැහැදිලි
කරමින් මෙම කතා පුවත දේශනා කළහ.


අප මහ බෝසතාණන් වහන්සේ පාරමී පුරන කාලයේ වටු කුරුල්ලකු ව උපන්නේ ය. දහස් ගණනක් වටු කුරුල්ලන්ට නායකයා වූයේ එතුමා ය. මෙම නායක වටුවා තම ඥාති පිරිස හොඳින් රැකබලා ගනිමින් කැලයේ ජීවත් විය.


එම කැලයේ ම වටුවන් මරා විකිණිම ජීවනෝපාය කරගත් වටු වැද්දෙක් විසී ය. ඔහු දැල් එලා උන් අල්ලා ගනී. මෙම ව්‍යසනය හඳුනාගත් වටු නායකයා තම පිරිස කැඳවා, "ඥාතීනි, මෙම වටු වැද්දා දිනපතා දැල එළා අපේ පිරිස අල්ලාගෙන මරා කයි. අපේ පිරිස විශාල ලෙස අඩු වෙයි. එයින් ගැලවීමට මම උපායක් සිතුවෙමි. වැද්දා දැල දැමූ විගස ම අපි සියලූ දෙනාම දැල ඔසවාගෙන පියාඹා ගොස් වනයේ ගසක දැල රඳවා බේරී පියාඹා යමු,”යි යෝජනා කළේ ය. සියලූ වටුවෝ නායකයාගේ බස හොඳින් පිළිගත්හ.


ඒ අනුව වටු වැද්දා දැල දැමූ විට සියල්ලෝ ම එක්ව දැල ඔසවා වනයේ ගසක දැල රඳවා බේරී පියාඹා ගියහ. වැද්දාට දැල ගලවා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.

තවත් දිනක වටු වැද්දා දැල එළී ය. එදින ද පෙර සේ ම වටු කුරුල්ලෝ දැල ඔසවා පියාඹා ගොස් ගසක රඳවා බේරී ගියහ. මෙසේ කිහිප දිනක් ම සමගිව කටයුතු කිරීමෙන් වටු කුරුල්ලෝ දිවි බේරා ගත්හ.


කිහිප දිනක්ම වටුවැද්දාට හිස් අතින් ගෙදර යාමට සිදු විය. මෙය ඉවසීමට නොහැකි වූ බිරිඳ වැද්දාට බනිමින්, "කෑම නැතිව ජීවත් වන්නේ කෙසේ දැ?”යි ප්‍රශ්න කළා ය.


බිරිඳ ඇමතූ වටු වැද්දා මෙසේ කී ය. "සොඳුර මා හට දොස් නොකියන්න, වටු රෑන මේ දිනවල සමගිව වාසය කරති. දැල එළන සැණින් එම පිරිස දැල ඔසවාගෙන පියාඹා ගොස් මහ වනයේ ගසක දැල රඳවා ගැලවී යයි. හැබැයි මෙසේ සැම දා කළ නොහැකියි. ඔවුහු සැම දා සමගියෙන් නොසිටිති. ඉක්මනින් අසමගි වෙති. එදාට මම
වටුවන් අල්ලා ගන්නම්.”

මෙසේ ටික දිනක් ගත විය. දිනක් වටුවන් දැල ඔසවාගෙන යන විට එක් වටු කුරුල්ලකුගේ පාදය තවත් කුරුල්ලකුගේ හිසේ වැදිණි. එයින් කෝපයට පත් දෙදෙනා අතර ගැටුමක් ඇති විය. නායක වටුවා ඔවුන් සමගි කිරීමට කොතෙක් අවවාද කළත් පලක් වූයේ නැත. මෙම ගැටුම විසඳීමට පිරිසක් අකැමැති විය. ඒ නිසා ම නායක වටුවා තම අදහසට එකඟ වූ පිරිසත් රැගෙන වෙනත් ප්‍රදේශයකට පියාඹා ගියේ ය.


ටික දවසක් ගිය පසු වටු වැද්දා පැමිණ දැල එළී ය. අසමගිව සිටි වටු කුරුල්ලන් වෙන දා මෙන් දැල ඔසවා ගෙන පියාඹා ගියේ නැත. ඔවුනට එසේ උපදෙස් දීමට නායකයෙක් ද සිටියේ නැත. එවිට වටු වැද්දා පැමිණ එක් වර ම දැල හැකිළී ය. වටුවෝ විශාල පිරිසක් දැලට හසු වූහ. ඔවුන් සියලූ දෙනා ම මරා විකුණා ඉතිරි මස් ද රැගෙන වැද්දා නිවසට ගියේ ය.


වටු රංචුව සමගියෙන් සිටි තාක් කල් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා විය. එකිනෙකා සුළු කරුණකට අසමගි වූ නිසා බොහෝ වටු කුරුල්ලෝ විනාශයට පත් වූහ. යමෙක් අසමගි වෙති ද ඔවුහු විනාශයට පත්වෙති යි මෙමගින් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ සේක.


අප ජීවත් වන සමාජයේ ද අපට වෙනත් අයගේ නොයෙකුත් බැනුම්, අවලාද, සිත් රිදවීම්වලට මුහුණ දීමට සිදු වේ. එවිට අප ඒ අය සමග සුහදව කතා කරමින් එම ගැටලූ විසඳා ගත යුතු ය. සමගියෙන් සිටීමේ අගය ඔවුනට ද වටහා දීමට අප කටයුතු කළ යුතු ය. එසේ සමගිව කටයුතු කිරීමෙන් අපට අපේ දියුණුව ද, රටේ දියුණුව ද සලසා
ගත හැකි ය.