මේ කෙටිකතාව මහාචාර්ය සෝමරත්න බාලසූරිය මහතාගේ පඳුරු ගසා කිරි වැදිලා කෙටිකතා සංග්රහයෙන් උපුටා ගත්තකි. කුඩා ළමයින් දෙදෙනකු අතර ඇති සහෝදර බැඳීම හා ඔවුන්ගේ ළමා ලෝකය මින් නිරූපණය වේ.
වුණ දේට මොනවා කරන්න ද? මං හිතලයැ තනියම කෑවෙ? බැරි වෙලා නෙ, බැරි වුණ එක නේන්නං වරද. මොකක් ද ඕක සීනිබෝලෙ නෙ. ඕක කෑවට, බඩපිරෙන එකක් යැ. බඩ පිරෙන්නෙ නං නෑ. ඒ වුණාට නුදුන් එක නෙවැරැද්ද. ඇත්තමයි, ඉතුරු වුණ සතේ නුදුන්නනං කොච්චර හොඳ ද?
මා කඩේට ගියේ බඩු ගෙන ඒමටයි. ඉතුරු සතේට මුදලාලි දුන්නේ සීනිබෝලයකි. මා එය කටේ දමා ගත්තේ ඉවක් බවක් නැතියකු සේ ය. එවිට මගේ කටට දැනුණේ කොතරම් රසයක් ද? මගේ කටේ ඒ වෙනුවට දැන් ඇත්තේ අප්පිරියාවකි: තිත්ත රසකි. සීනිබෝලය දකින කොට ම මගේ කටට ඉනූ කෙළ දැන් හිඳී ගොස් ය. දතෙහි රැඳී ඇත්තේ තිත්ත රසකි. මම හාල් මල්ලෙන් හාල් ඇට කීපයක් කටේ දමා ගත්තෙමි. එයින් මගේ කටේ තිත්ත රස වෙනස් වෙතියි සිතුවෙමි. එහෙත් එයින් තිත්ත රස තව තවත් වැඩි විය.
නංගී මට නොදී කිසිවක් නොකනවා ඇතැයි මට සිතේ. නංගී මසුරු වුව ද මට සීනිබෝල ගෙනවුත් දුන් වාර කීපයකි. අම්මා පොළෙන් ගෙන එන කඩල මුල නංගී පළමුවෙන් ම ගෙනෙන්නේ ද මා ළඟට ය. මගේ පංගුව ඉවර වූ පසු ඇයගේ අතෙහි ඇති කඩල ඇට කීපයෙන් එකිනෙක ඇය මා අත තබයි. ඒවායේ ඇති නැවුම් සුවඳ මට දැනේ. මා ඒවා එකින් එක පටස් පටස් ගා හැපූ හැටි, ඒවා කොතරම් රස ද?
නංගී නිතර ම වගේ කඩයට ගියා ය. ඈ ඉතුරු වන සතේට සීනිබෝලයක් ගෙනාවා ය. ඈ එය අතේ තබාගෙනවුත් දහඩියෙන් තෙත් වී ඇත. ඈ එය ගෙනැවිත් මගේ කටට ළං කළා ය. මම දතින් කටස් ගා කෑල්ලක් කඩා ගෙන කමි. ඉතුරු කෑල්ල කටේ දමා ගන්නා ඈ සිනා සෙයි. වරෙක ඇගේ කැබැල්ලෙන් කොටසක් මගේ කටට ළං කෙළේ ඇගේ කොටස ලොකු වූ නිසා විය යුතු ය. මගේ කටින් කඩා ගත් සීනිබෝල කෑල්ල ඈ කන්නේ කොතරම් ප්රීතියෙන් ද?
නංගී දිනපතා කැටයට දැමීමට තමාට ලැබෙන සතයෙන් සීනිබෝල ගෙනෙන්නේ මටත් දී කෑමට විය යුතු ය. ඈ මසුරු වුව ද සීනිබෝල ගෙනෙන්නේ ඒ නිසා විය යුතු ය.
නංගී උදේ පාන්දරින් ම නැගිටියි. ඈ කළුවරේ ම දුවන්නේ දිවුල් ගස් යටට ය. ඈ හැම තැන ම එබිකම් කර දිවුල් අහුලයි. නංගී ඒවා ගෙනෙන්නේ හපන්කමක් කළාක් මෙනි. ඈ ඒවා ළඟ තබා ලොකු කුඩා බලයි. ඈ පළමුව එකක් දෙන්නේ මට ය. එය කන්නේ ඈත් මාත් හවුලේ ය. ‛අයියේ මට කට්ට’ යැයි කියමින් ඈ කෑවේ දිවුල් කට්ට සූරා ගෙන ය. මෙසේ අපි දිවුල් ගෙඩි කීපයක් ම කා හමාර කළෙමු. එහෙත් නංගී කෑල්ලකට දෙකකට වඩා කන්න නැත. ‛මට ඔය හැටි කන්න බැහැ’යි මම වරෙක කියමි. එවිට නංගී ඒවා සඟවා පසුව මා වෙත සිනහා සෙමින් ගෙන එන හැටි මට සිහි වෙයි.
අයියා ගෙදර එන විට ගෙනෙන්නේ කේක් විතරක් නොවෙයි. නංගී මේවායින් පංගුවක් සඟවා තබයි. ඈ ඒවා පසු දිනෙක මා වෙත ගෙන එන්නේ නෑයකු කතා කරන්නාක් මෙන් කතා කරමිනි. ඒවායින් වැඩි හරියක් කන්නේ මා ය. ඇගේ ප්රීතිය තව තවත් වැඩි වෙයි. මා අතෙහි ඇති සීනිබෝලය වරෙක ඈ උදුරා ගත්තා ය. නංගී සිනා සෙන්නේ එවිට ය. මගේ සිතෙහි ඒ මුහුණ ඇඳී ඇත.
නංගී වත්ත පහළ ඇවිදීමට ගියා ය. ඇය එන්නේ කරඹ, කොහුකිරිල්ල ගෙඩි කඩා ගෙන ය. ඈ කරඹ ගෙඩි එකින් එක දෙන හැටි මට සිහි වෙයි. ඉදුණු ගෙඩි සියල්ල දෙන්නේ මට ය. ඒවායේ සීනි සුවඳක් මගේ නැහැයට දැනෙයි. තද කළු කරඹ ගෙඩිවල කොතරම් රසයක් තබෛන්න ඇද්ද? ඈ මෙසේ මට ගෙනවුත් දුන් දේ කොපමණ ද? මගේ කටෙහි තිත්ත ගතිය තව තවත් වැඩිවෙයි. නංගීගේ සිනහා මුහුණ මට පෙනේ. එය දැන් මලානික වන්නා සේ ය. වරෙක ඈ ඇසූ සැටි මට මතක ය. ‛අයියේ, සීනිබෝල ගෙනාවා ද?’ ඇය අසනු ඇත. මා ගත් සීනිබෝලය මගේ බඩෙහි ය. නංගීට සීනිබෝලය දුන්නා නම් ඈ එය සිනා සෙමින් ගනු ඇත. එවිට ඇගේ සිත ප්රීතියෙන් උතුරා යයි.
මා ඈ අමතක කර ඇත. මා ලොකු වරදක් කර ඇත්තකු සේ ය. මට සීනිබෝල ගැනීමට ආපසු යෑමට සිතේ. ඒත් මං කෑව එක කෑවෙ නංගීට නොදී නෙ. නංගී මට කොතරම් සීනිබෝල දෙන්න ඇද්ද? එහෙත් මා ඈට නොදී කෑවා නෙ. යමකු මා ලූහුබැඳ එන්නා සේ ය.
‛අයියේ, සීනිබෝල ගෙනාවා ද?’ ඈ මා ගෙදර යන විට අසනු ඇත. මා එවිට කියන්නේ කුමක් ද? මට සීනිබෝල ගෙන යා හැකි ය. ඒත් මා කෑ සීනි බෝලය? එය කෑවේ නංගීට නොදී නේ. නංගී මගේ කටට සීනිබෝල ළං කරන හැටි සිහි වේ. එහි ඇති සුවඳ, මම එයින් කෑල්ලක් කටින් හපා ගතිමි. එහෙත් මා තනිව කෑවා නෙ. මා නංගීට සැලකූ හැටි, නංගී මට නොදී කිසිවක් කන්නේ නැත. මගේ දෙනෙතට කඳුළු උනා එන්නා සේ ය.
මම කෙළ ගිලීමට උත්සාහ කළෙමි. මගේ උගුර වියළී ගොස් ය. පාරේ දූවිලි ඇවිස්සී ඇත. ඒවා මගේ කන් නාසාවලට පවා ඇතුළු වෙයි.