එකිනෙකා වෙත කරුණාව දක්වමින් උදවු උපකාර කිරීමෙන් ලෝකය වඩාත් සුන්දර තැනක් බවට පත් කර ගත හැකි ය. අන්යයන් වෙනුවෙන් සේවය කිරීම සඳහා අවශ්ය වන්නේ ඒ සඳහා ඇති කැමැත්ත හා කැපවීම පමණි. පාසල් දරුදැරියන් වෙනුවෙන් එබඳු අප්රමාණ මෙහෙවරක් ඉටු කරන අත්තම්මා කෙනකු අපි හඳුනා ගනිමු.
සතියේ දවස් පහ ම පාසල් යන අත්තම්මලා සිටිති. සිය දූ දරුවන්ගේ දරුවන් කැටුව නැවත පාසල් යන මේ අත්තම්මලා වගේ ම ලිලී අත්තම්මා ද දරුවන්ට ආදරේ ය. එහෙත් ඇය දිනපතා පාසලට එන්නේ ද යන්නේ ද තනිව ම ය. උදෑසන හයට පමණ පාසල අබිමුවට එන ඇය එතැන් සිට සිය දෛනික රාජකාරිය අරඹන්නී ය. ඇය නමින් ලිලී වයලට් ය. කෑගල්ලේ පරගම්මන ඈ උපන් ගම් පියසයි.
මේ ‘ලිලී අම්මා’ හෙවත් ‘වයලට් ආච්චි’ පාසලට පැමිණියේ අමුතු ම රාජකාරියකට ය. පොලීසියේ හෝ වෙනත් ආරක්ෂක අංශයක සේවාවක් නොවෙතත් නිල නොලත් එවැනි ම රාජකාරියක ඇය නියැලෙනුයේ ස්වේච්ඡාවෙන් ම ය. උදේ ම සේවයට එන ඇය, පාසලට එන දරුවන් ආරක්ෂිතව පාර මාරු කරවයි. පාසල් බස් රථ, වෑන් රථ මෙන් ම පාසලට ඉදිරියෙන් එහා මෙහා යන වෙනත් වාහන ද කඩිසරව හසුරුවාලයි.
දරුවන්ගේ රැකවරණය පතා විටෙක සිය දැඩි අණසක පතුරන ඇගේ මේ සේවය ඒ කාටත් පහසුවකි. ඕ තොමෝ දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද මාර්ග නීති මතක් කර දෙයි. ඇතැම් නොහික්මුණු රියැදුරකුට තදින් අවවාද කරන්නට වුව ද ඇය නොපැකිළෙයි. එහෙත් දරුවන්ට කරුණාවෙන් මග පෙන්වයි.
සේවය ම සිය ‘රාජකාරිය’ කර ගත් මේ අපූරු අත්තම්මා වයස අවුරුදු අසූව ඉක්මවා තිබියදීත් විශ්රාම නොගත්තා ය. පුරා අවුරුදු හතළිහකට වැඩි කාලයක් ඇය එක දිගට දරුවන් වෙනුවෙන් කැප වූ මුත් මේ අත්තම්මාගේ රාජකාරියට මාසික වැටුප් නැතත කිසිදු දීමනාවක් නැත. පාසල පැවැත්වෙන සැම දවසක ම ඈ සුපුරුදු රාජකාරියේ ය. ප්රමාද වී පැමිණිම් හෝ කෙටි නිවාඩු ද නැත. උදේ හයේ සිට නවයයි තිහ වන තෙක් ද, දහවල් දොළහේ සිට සවස තුනයි තිහ වන තෙක් ද තමා ම සකසා ගත් කාලසටහනකට අනුව ඈ දිනපතා සේවයේ නියැලෙන්නී ය. අමතර සවස පන්ති හෝ ක්රීඩා පුහුණුවීම් ආදිය පැවැත්වෙද්දී සවස පහ පසු වන තුරු ඈ පාසලේ ගේට්ටුව ළඟ ය.
කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක කනිෂ්ඨ විද්යාලය ළඟ ‘රාජකාරියක’ නියැලෙන මේ සොඳුරු මිත්තණියට කෑගල්ල පොලීසියෙන් ද බාධාවක් නැත. නිල කබායක්, වැස්සට අඳින කබායක් සේ ම තොප්පියක් ද පොලීසියෙන් ඇයට ලැබුණු තෑගි ය.
මේ ආච්චිට ආදරය කරන දරුවෝ සිය උපන් දිනවල දී කුඩා කේක් කෑල්ලක් ඉතුරු කර ගෙනැවිත් දෙති. දරුවන් ගැන සිතන මේ ආච්චි අම්මා ද කිසිදාක නිවාඩුවක් නො ගනියි.
"හිසේ ඇම්මක්, උණක් හෙම්බිරිස්සාවක් හැදුණත් කොත්තමල්ලි ටිකක් තම්බාගෙන බීලා මම වෙලාවට වැඩට එනවා. දරුවෝ මං එනතුරු බලාගෙන ඉන්නවා."
ඇයගේ කැපවීම පුදුමාකාර ය ඒ ඇය මේ සේවයට හදවතින් ම බැඳී සිටින නිසා විය යුතු ය. කිසිදු ප්රතිලාභයක් ලබා නොගෙන ඇය සිදු කරන මේ සේවාව සැබෑ ම ආදර්ශයක් වේ.
ඇයගේ මේ සේවයේ ආරම්භය ද අහම්බයකි. සිය එක ම දියණිය කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක කනිෂ්ඨ විද්යාලයට ඇතුළත් කළ දා පටන් ඇය දිගට ම මේ පාසලට ආවා ය. දියණිය ඉපදී තෙමසක් ගත වත් ම සිය සැමියා මෙලොව හැර දා ගියෙන් ඇය දියණිය හදා වඩා ගත්තේ ද තනිව ම ය. ජීවිතයේ දී අත් විඳීමට වූ අනේකවිධ දුක් කම්කටොලූ, ආර්ථීක පීඩා
මධ්යයේ වුව ද මේ දිරිය මාතාව සිය දියණිය ගැන පමණක් නො ව අනෙක් දරුවන් ගැන ද නිතර සොයා බැලූවා ය. පාර මාරුවන්නට උදවු කළා ය. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එතුමිය නිරන්තරයෙන් වෙහෙසුණා ය. මව්වත් ගුණයෙන් අනූන ඇය සිය කාර්යය, යුතුකමක් කර ගත්තා ය.
සිය දියණිය, ඒ පාසලෙන් මැදි මහ විදුහලට ගිය ද ‘ලිලී අම්මා’ ඒ පාසල හැර දා නොගියා ය. ඇය ඒ ‘රාජකාරිය’ වෙනුවෙන් කොතෙක් සැදී පැහැදී සිටියේ ද යත් ඒ පාසලේ බොහෝ දරුවෝ පාර මාරු වීමට ඇය එනතුරු මග බලා සිටියහ. පාසලට යන එන රියැදුරු මහත්වරුන්ට මෙන් ම ගුරු දෙගුරු වැඩිහිටි කොයි කාට වුව ද ඇගේ සේවය විශාල පහසුවක් ම වී තිබේ. පාසලේ විදුහල්පතිතුමා ප්රමුඛ ගුරු මණ්ඩලයේ ආදරය හා ගෞරවයට ද නොමඳව ම පාත්ර වූයෙන් පාසල ඇයට තව තවත් ප්රියමනාප තැනක් ම විය. ඇයගේ රාජකාරියට කිසිවකුගෙන් බාධාවක් එල්ල නො වී ය.
ඔසරියෙන් හෝ රෙද්ද සහ හැට්ටයෙන් සැරසී පාසලට පැමිණ, කෙටි කබායක් උඩින් ඇඳ තොප්පිය ද දමා ගත් කල ඇගේ නිල ඇඳුම සම්පූර්ණ ය. රාජකාරියට ඔබින අපූරු පෞරුෂයෙන් ද, ප්රියමනාප සිනහවෙන් ද ඇය කාගේත් සිත් ගත්තා ය. කරුණාභරිත හදවතක් තිබුණේ වුව ද ඇය පෙනුමෙන් තේජවන්ත ය. පරම්පරා කීපයකට ම, ඇගේ ඒ ළෙන්ගතුකම්, තේජාන්විත පෙනුම මෙන් ම පෑ අණසක ද අමතක නොවනුයේ ඒ නිසා ම ය. හෙට්ටිමුල්ල බණ්ඩාරනායක කනිෂ්ඨ විද්යාලයෙන් ඉගෙනුම ලැබූ සිසු දරුවන් වැඩිහිටියන් වූ කල ද ඇය ඒ පාසල් ගේට්ටුව අසලට ම වී සිටියා ය. අවට ගම් වැසියෝ ද පාසලට එන යන රියැදුරෝ ද ඇයට ඛෙහෙවින් ම ආදරය කළහ. මේ ස්වේච්ඡා සේවයෙන් ඇය ලත් එක ම වරප්රසාදය ඔවුන්ගේ ඒ කෘතවේදිත්වය හා සෙනෙහස ම වන්නේ ය. ඒ නිසා ම ඇයගේ සේවය ඇගයුණු අවස්ථා ද විය.
කිසිදු ආර්ථීක ප්රතිලාභයක් නොතකා මෙබඳු සේවාවක නියැලූණු මේ ආදරය අත්තම්මාට ස්ථීර ආදායමක් නො වී ය. ‘සමෘද්ධි සහනාධාරය’ හා රජයෙන් ලබා දෙන ‘මහජන ආධාරය’ හැරුණු කොට ඇයට ජීවත් වීම සඳහා වෙනත් ආදායමක් ද නො වී ය. අඩු පහසුකම් සහිත කුඩා නිවසක තනිව ම ජීවත් වුව ද ඇය එයින් කලකිරුණේ නැත. ඇය තම සේවය පිළිබඳ සිතා නිරන්තරයෙන් සතුටු වන්නී ය.
මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යැයි සිය ජීවිතාදර්ශයෙන් ම ප්රකට කළ මේ ජ්යේෂ්ඨ පුරවැසි මාතාවගේ සේවය හෙට දවසේ සමාජයට පිවිසෙන අපට ද මග එළි දල්වන්නකි.