භාෂා හැකියාව මිනිසාට හිමි වූ සුවිශේෂ දායාදයකි. භාෂා භාවිතයෙන් අදහස් රසවත් ලෙස ප්රකාශ කළ හැකි ය. පොතපත කියවීමෙන් හා එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීමෙන් අප දන්නා වචන ප්රමාණය හෙවත් වාක්කෝෂය වඩාත් වර්ධනය කරගත හැකි ය. අපේ අදහස් වඩාත් රසවත් ලෙස ඉදිරිපත් කළ හැක්කේ ඒ වචනවල අර්ථය හොඳින් අවබෝධ කර ගැනීමෙනි. මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා ලියා ඇති මේ ලිපිය කියවමු. එය සකස් කර ඇත්තේ එතුමාගේ කිව්වම මොකද ග්රන්ථය ඇසුරෙනි.
ඈ නිවාඩුවට ගමට ගියා ය. ඇගේ ගම මාතරයි. ඇගෙන් කිසි ම ආරංචියක් නොලත් ඇගේ යෙහෙළිය මඳක් කලබල වූවා ය. ඈ නිවාඩුවෙන් පසු කොළඹ සරසවියට ආ දා ඇයගේ යෙහෙළිය ඇගේ නිහ`ඩතාව ගැන විපරම් කළා ය. "ගියදාට පහුවදා ම මං ලියුමක් දෑවා” යැයි ඇය තරයේ කියා සිටියා ය.
"ලියුම දෑවා? පුදුමයක් ය හම්බ නූණු එක” යෙහෙළිය විහිළු කළා ය.
දකුණු පළාතේ 'දෑවා' යැයි කියන්නේ ‘දැම්මා’ යන අරුතිනි. ලියුමක් ‘දැම්මා’ යැයි කියනු වෙනුවට ඔවුන්ගේ මුවින් පිට වන්නේ ‘ලියුමක් දෑවා’ යන වහරයි. මේ වෙනසට හේතුව මේ සඳහා දෙපිරිස පදනම් කොට ගන්නා ක්රියා පද දෙකේ වෙනස යි. මින් එක් පිරිසක් ‘දැම්මා’ යන අතීත ක්රියා පදය සාදා ගන්නේ ‘දමනවා’ යන ක්රියා පදය අනුසාරයෙනි.
දකුණු පළාතේ ‘දෑවා' යන ක්රියා පදය සාදා ගන්නේ ‘දානවා' යන ක්රියා පදය අනුසාරයෙනි. ‘කනවා' යන්නෙන් ‘කෑවා' යන්න ද, ‘ගානවා' යන්නෙන් ‘ගෑවා' යන්න ද, ‘නානවා' යන්නෙන් ‘නෑවා' යන්න ද, ‘හානවා' යන්නෙන් ‘හෑවා' යන්න ද සාදා ගන්නා රටාවෙන් ම ‘දානවා' යන්නෙන් ‘දෑවා' යන්න ද සෑදේ. ‘දමනවා' හා ‘දානවා' යන ක්රියා පද අද ඛෙහෙවින් ම යෙදෙන්නේ සමාන අර්ථයෙනි.
‘දානවා' යන්නෙහි එක් මූලික අර්ථයක් වන්නේ කිසිවක් යමක් ඇතුළට පිවිසවීමයි. සාක්කුවට අත දානවා, කැටේට සල්ලි දානවා, මිනිය වළ දානවා යැයි කියන විට මෙනි. තමාගේ සාක්කුවට ‘අත දා ගත්තාට' ප්රශ්නයක් නැති වුවත් අනුන්ගේ සාක්කුවලට ‘අත දාන්ට' යෑමෙන් හෝ අනුන්ගේ වැඩවලට ‘අත දාන්ට' යෑමෙන් නොයෙක් කරදරවලට මුහුණ දෙන්නට සිදු විය හැකි ය. අනුන්ගේ වැඩවලට ‘කට දාන්ට' යෑම ද පරිස්සමින් කළ යුත්තකි. අනාරාධනයෙන් කතා බහට එක් වීම ‘කට දානවා' යන්නෙන් අදහස් කෙරේ.
මිනිසුන්ට හොටක් නැතත් ඔවුන්ට ‘හොට දාන්ට' බාධාවක් නැත. ‘මමත් පොඩ්ඩක් හොට දාලා එන්නං' යැයි කියමින් ඇතැම් අය නොයෙක් තැන්වලට යති. ‘හොට දානවා' යන්නෙන් අදහස් කරන්නේ මූනිච්චාවට මෙන් යමකට යන්තමින් සහභාගි වීමයි.
මල් පාත්තියකට ‘වතුර දානවා' යන්න ‘මාලෙ වතුරෙ දානවා' යන්නට වඩා වෙනස් අරුත් නගන්නකි. රත්තරන් ආභරණ කලින් කලට ඔපවත් කරනු පිණිස කාන්තාවන් කරන එක් දෙයක් නම් ඒවා වතුරෙ දැමීමයි. මේ සඳහා ‘පලිප්පු දානවා' යන වහර ද යෙදේ. ‘පලිප්පු දාන’ විට ආභරණ ඔපවත් වන්නා සේ යම් යම් කතා බහ ඔපවත් කිරීමට ද සමහරු ඒවාට ‘පලිප්පු දමන්ට' අමතක නොකරති.
ගංවතුර කාලයට ද ‘වතුර දානවා' යන වහර යෙදේ. මේ පාර ගංවතුර හරි සැරයි. මෙගොඩටත් ‘වතුර දානවා' යැයි කිසිවෙක් කියයි. එයින් අදහස් කරන්නේ මෙගොඩටත් වතුර ගලා එන බවයි. වැවක වතුර වානට උඩින් පිට වීම වාං දානවා යන්නෙන් ගැනේ.
ළිපට මෙන් ම ‘ඇවිළෙන ගින්නට ද පිදුරු දාන්ට' සමහරු හපන්නු ය. ‘ඇවිළෙන ගින්නට පිදුරු දානවා වාගේ' යන පිරුළින් අදහස් කරන්නේ දැනටමත් උග්ර වී ඇති ප්රශ්නයක් තව තවත් උග්ර කිරීමයි.
‘බේත් දාන්නේ' තුවාලවලටයි. ‘තෙල් දාන්නේ' හිසටත් තාච්චිවලටත් ය. ‘ඉස කුඩිච්චි දාන්නේ' හිසේ අමාරු නැති කර ගන්නට ය.
‘තාර දාන්නේ' පාරට ය. ‘පෝර දාන්නේ' පාත්තිවලට පමණක් නොවේ. සමහරුන්ගේ කතා බහටත් ‘පෝර දාන්ට' සමහරු සූදානමින් සිටිති. එනම් ඒ කතා බහ තව තවත් අවුළුවන්නට ය. වත්තට ‘පෝර දාන්ට කලින්' එහි ‘කානු දාන්ට' අවශ්ය බව ද වතු හිමියෝ කියති. 'කානු දානවා' යනු කානු කැපීමයි.
‘පත්තරේ දානවා' යයි කීමෙන් අදහස් කෙරෙන්නේ පළ කරනවා යනුයි. පත්තරයක දැන්වීමක් පළ කිරීම ‘දැන්වීමක් දානවා' යනුවෙන් ද යෙදේ. සමහරුන්ට රහසක් කී විට එය ‘පත්තරේ දැම්මාටත් වැඩිය' හපන් ය. පත්තරේක දැන්වීමක් දැමූ විට ඊට ‘ඉල්ලූම් පත්ර දාන්ට' ද සමහරු පුල පුලා බලා සිටිති.
යමක් ආරම්භ කරනවා යන අර්ථය ද ‘දානවා' යන්නෙහි තිබේ. අලූතින් ‘කඩයක් දාන්ට' හෝ ‘සාප්පුවක් දාන්ට' සිතන විට මෙනි. අලූතින් දාපු සාප්පුවට සෙනඟ ඇද ගන්ට නම් එය පුරා ම ‘ලයිට් දාන්ට' ඕනෑ ය.
‘යමක් පවත්වනවා' යන අර්ථය දීමට ද ‘දානවා' යන පදය යෙදේ. ‘පාටියක් දානවා' යැයි කියන විට මෙනි. සමහරු පඩි ගත් දවසේ සිට ම ‘සීට්ටු දාන්ට' අමතක නොකරති. සමහරුන් සිතන්නේ සල්ලි පොතේ දානවාට වඩා ‘සීට්ටු දැමීම' ලාභදායක බවයි.
‘පලඳිනවා' යන අර්ථය දීමට ‘දානවා' යන පදය යෙදෙන සැටි ‘සපත්තු දානවා', ‘මේස් දානවා', ‘කන්නාඩි දානවා' වැනි වහරකින් තහවුරු වේ. ‘කෝට් දානවා' නම් හෝ ‘ටයි දානවා' නම් ‘සෙරෙප්පු දාලා' හරියන්නේ නැත. සපත්තු මේස් දාන්ට ම වුවමනා ය.
‘හීන් දාඩිය දානවා, යනු බියට පත්වීමයි. පොලිස් නිලධාරියකු දුටු විට හොරුන්ට හීන් දාඩිය දමන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
සෙල්ලම් කරනවා යන අරුත ද ‘දානවා' යන්නෙහි ගැබ් වේ. සිංහල අලූත් අවුරුදු කාලයට ‘පංච දාන්ට' හෝ ‘පංචි දාන්ට' දරුවෝ ආශාවෙන් බලා සිටිති. ‘පංච දැමීම'
උඩරට පළාත්වල හැඳින්වෙන්නේ ‘දොළහ දානවා' හෝ ‘බෙල්ලෝ දානවා' යනුවෙනි.
සමහර අසනීප හැදී ගෙන එන විට ‘දාඩිය දාන්ට' හෝ ‘සෙම දාන්ට' පටන් ගැනේ.
මේ අයුරින් එක ම වචනය විවිධ අර්ථවල යෙදෙන අවස්ථා එදිනෙදා ව්යවහාරයේ දී හඳුනා ගත හැකි ය.