6 - මල් සිරි සිරි සිසිරි සිසිරි

රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වූ සෙනසුරාගෙ අපල කාලෙ නම් වූ ළමා සාහිත්‍ය කෘතිය ජයරත්න සමරසේකර මහතාගේ නිර්මාණයකි. එය රචනා වී ඇත්තේ සීයා කෙනකු ළමයින්ට කතාන්දරයක් කියා දෙන ආකාරයට ය. කවි සංවාද ඇසුරෙන් කතාව ඉදිරිපත් කෙරෙන මෙහි ප්‍රධාන චරිතය වන්නේ වස්තුහාමි නම් ගමරාලයි.

කාර්යශුර ගොවියකු වූ වස්තුහාමි ධනවත් පුද්ගලයෙකි. දිනක් නැකැත්රාල කෙනෙක්, වස්තුහාමිට ඉදිරියේ දී අයහපත් කාලයක් උදා වන බව පවසයි. එය අසා කම්පාවට පත් වූ වස්තුහාමි කිසිදු කාර්යයක නිරත නොවී අලසව සිටීම නිසා ඔහුගේ වගා බිම් ආදිය විනාශ වී යයි. ඒ හේතුවෙන් ඔහුගේ ධනය පිරිහෙයි.

වස්තුහාමිගේ මිතුරකු වන නරිනයිදේ කෙනෙක් ඔහුගේ මේ වෙනස දකී. මිතුරු නරිනයිදේ වස්තුහාමිට පවසන්නේ අයහපත් කාලය ගැන නොසිතා වෙහෙස වී වැඩකටයුතු කිරීම සුදුසු බවයි. ඒ අදහස පිළිගත් වස්තුහාමි යළිත් පෙර පරිදි ම වෙහෙස වී වගා කටයුතු හොඳින් සිදු කර ධනවතකු බවට පත්වෙයි. වස්තුහාමිගේ උත්සාහය නිසා යළිත් ඵල දරා සරුසාර වුණු ගොවි බිම්වල චමත්කාරය පහත පැදි පෙළෙන් නිරූපණය වේ. අලසකම දුරු කොට උත්සාහයෙන් හා වෙහෙස වී වැඩකටයුතු කළ හොත් ජීවිතය ජය ගත හැකි බව මෙම පාඩමෙන් කියවේ.

වස්තුහාමි: මල් සිරි සිරි
            සිසිරි සිසිරි
            මල් වරුසා වහින්නේ

            කුඹුර කලල් කර ගන්ඩයි                       
            මේ මල් වැහි වහින්නේ

            ඒ මල් වැස්සේ තෙමි තෙමි
            පැළපත රැළි නඟනවාය
            බණ්ඩි ඇදී කිරට හැරී
            කරල් බිමට නැවෙනවා ය

            ඉර අහසේ ඔමරි පපා
            හිනා කැරලි හෙළන්නේ
            ජයට සැදී කිරි කුරහන්
            පීදෙන හැටි බලන්නේ

            මෑ - මුං - තල - අමු - මෙනේරි
            හිනැහෙන කොට අත වන වන
            මගේ සතුට නළියනවා
            හිත ඇතුළේ උඩ පැන පැන

            තක්කිට තරිකිට තරිකිට
            ගෙයි අටු කොටු පිරෙයි පිරෙයි
            වක්කඩ කැඩුවා විලසට
            සතුට දෝර ගලයි ගලයි

සීයා: වස්තුහාමි ගමරාලගෙ
       අටු කොටු ඉතිරෙන වස්තුව
       නිධානෙකින් ලැබිල නෙමෙයි
       දෙයියො ගෙනත් දීල නෙවෙය

       ගම මැද්දෙන්
       හොර හිතකින්
       සඟවා ගෙන ගෙනත් නෙමෙයි

      සිනා සිසී සීදේවිය
     ගේ තුළ සැරිසරන්නේ
     සිනා කැකුළු මල් ඉහිරී
     මිදුලට අතු නැමෙන්නේ

    යලට මහට වැඩ කෙරුවා
    ඇඟපත දහඩිය හෙළුවා
    අස්වනු අටු කොටු පිරිලා
    වස්තුව ගේ තුළ පිරුණා

නරි නයිදේ:  කලට යලට වැඩ කෙරුවොත්
                කුසීතකම දුරු කෙරුවොත්
               නුවණ කල්පනා කෙරුවොත්
               නෑ වරදිනු කවදාවත