ඩබ්ලිව්. ටී. එම්. මහින්දරත්න මහතා රචනා කළ බින්දුගේ ලෝකය (විද්යාදැනුම සංග්රහය) පොතෙන් උපුටා ගත් මේ පාඩම, අපගේ ශරීර අවයවයක් වන මහපටැඟිල්ලේ තතු කියා දෙන්නකි. අපගේ එදිනෙදා කටයුතුවල දී මහපටැඟිල්ල ප්රයෝජනවත් වන ආකාරය සහ මහපටැඟිල්ල සකස් වී ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳ තොරතුරු රැසක් දැන ගැනීමට මේ පාඩම හොඳින් කියවමු.
සති අන්තේ නිවාඩුවට බින්දුලා ගමේ ගියා. ගමේ ගෙදර ආච්චිත් සීයාත් හරි ආසාවෙන් බලා ගෙන ඉන්නේ බින්දුලා මහ ගෙදර එනකල්.
තාත්තා මේ ගමන කවදා වත් වරද්දන්නේ නැහැ. තාත්තා හැමදා ම කියන්නේ මොන වැඩ තිබ්බත් අඩු ගණනේ මාසයකට සැරයක් වත් ගමේ ගිහින් එන්න ඕනෑයි කියලා.
"මාත් අම්මායි, තාත්තායි දෙන්නා ම හොඳට බලා ගන්නවා."
බින්දුගේ මව්පියන් ආච්චිටයි, සීයාටයි සලකනවා දැක්කා ම බින්දුට එහෙම හිතුණා. එහේ ගියා ම ඒ දෙන්නාට හරි සතුටුයි. බින්දුයි, නංගියි ළඟට අරගෙන ආච්චියි, සීයායි ලස්සන කතන්දර කියලා දෙනවා; අමුතු අමුතු ප්රශ්න අහනවා.
"මගේ පුතාගේ අතේ ඇඟිලි කීය ද?”
"පහයි, සීයේ.”
"මොනවා ද ඒවායේ නම්?”
"මේ තමයි සීයේ මහපටැඟිල්ල, මේ දබරැඟිල්ල, මේ මැදැඟිල්ල, මේ වෙදැඟිල්ල, පුංචි එක්කෙනා තමයි සුළැඟිල්ල.”
"බොහොම හොඳයි. දැන් කියමුකෝ බලන්න ඔය ඇඟිලි පහෙන් ලොක්කා කවුද කියලා.”
නංගි චුට්ටක් කල්පනා කළා. ඇඟිලි පහ දිහා බැලූවා දිග, පළල බැලූවා.
"මැදැඟිල්ල තමයි ලොක්කා,” නංගි උත්තර දුන්නා.
"අපොයි නැහැ. එයා උසින් මහතින් වැඩි වුණාට ලොක්කා නෙවෙයි.”
"සීයේ, මම කියන්න ද? මිනිස්සු මොනවාට හරි දික් කරන්නේ දබරැඟිල්ල, දබරැඟිල්ල තමයි ලොක්කා,” බින්දු කිවුවා.
"නෑ, මගේ පුතේ. මෙන්න මෙයයි ලොක්කා.”
සීයා පෙන්නුවේ මහපටැඟිල්ල.
"ඒ කොහොම ද සීයේ? මහපටැඟිල්ල ඇඟිලි පහෙන් ම කොට ම ඇඟිල්ල නේ;"
"හොඳයි, අපි මෙහෙම කියමුකෝ. ඔන්න මම මේ පබළු ඇට බිමට දානවා. අහුලන්නකෝ බලන්න. හැබැයි මහපටැඟිල්ල නැතුව.”
සීයා පබළු ඇට දෙක තුනක් බිම දැම්මා. වැඩේ ලේසි වුණේ නැහැ. අහුලන්න අමාරුයි. ඊළඟට සීයා කිවුවේ හැරමිටිය අල්ලා ගන්න, මහපටැඟිල්ල නැතුව අල්ලලා අදින්න කියලා. ඒ වැඩෙත් හරියට කරන්න අමාරුයි. වැඩි බලයක් යොදන්න බැහැ. සීයා කෝටුවක් දීලා වැල්ලේ ලියන්න කිවුවා. බලන කොට ඒ වැඩෙත් මහපටැඟිල්ල නැතිව කර ගන්න අමාරුයි.
"හොඳයි, දැන් ඇඟිලි දිග අරින්නකෝ. මහපටැඟිල්ලේ තුඩ අනෙක් ඇඟිලිවල තුඩට තියන්නකෝ.”
බින්දු ඒ විදිහට කරලා බැලූවා. මහපටැඟිල්ලේ තුඩ අනෙක් ඇඟිලිවල තුඩුවලට ලේසියෙන් තියන්න පුළුවන්.
"දැන් ඒ වගේ කරන්න පුළුවන් ඕනෑ ම ඇඟිල්ලක් තෝරලා මට පෙන්වන්න. බින්දු තෝරා ගත්තේ දබරැඟිල්ල. මහපටැඟිල්ල ඇරෙන්න එක ඇඟිල්ලක තුඩක් වත් දබරැඟිල්ලට අල්ලන්න බැහැ. නංගි තෝරා ගත්තේ මැදැඟිල්ල. ඒත් එහෙමයි. වෙදැඟිල්ල හා සුළැඟිල්ලත් ඒ විදිහට ම තියලා බැලූවා. ඒ එකක් වත් තියන්න බැහැ.
"ඒ නිසයි පුතේ මම කිවුවේ මහපටැඟිල්ල තමයි ඇඟිලි පහේ ම ලොක්කා කියලා.”
බින්දු මේ මහපටැඟිල්ලේ අරුමය ගැන සිතා බැලූවා. මෙහෙම ගැටලූවක් ආවා ම බින්දු ඒ ගැන තොරතුරු හොයනවා; පොතපත කියවනවා; දන්න අයගෙන් විමසනවා.
අත්ලේ ඇට කැබලි හැදිලා තියෙන හැටි බින්දු සෝදිසි කළා. ඇට කැබලි 27ක් අත්ල පුරා විහිදිලා තියෙනවා. අත්ලේ මැද ඇට කැබලි 13යි. අනෙක් ඒවා ඇඟිලිවල තියෙන්නේ. මහපටැඟිල්ලේ ඇට කැබලි 2යි. අනෙක් හැම ඇඟිල්ලක ම ඇට කැබලි 3 බැගින් ඇට කැබලි 12ක් තියෙනවා. මහපටැඟිල්ල අත්ලේ ඇටවලට සවි වන තැන ටිකක් වෙනස්. ඉදිරියටත් පසුපසටත් විතරක් නොවෙයි, දෙපැත්තටත් ඒ ඇඟිල්ල සොලවන්න පහසුයි. ඒත් අනෙක් ඇඟිලි ඒ ආකාරයට සොලවන්න අපහසුයි.
යමක් තදින් අල්ලා ගන්න, වතුර බෝතලේ මූඩිය කරකවන්න, පැළයක් ගලවන්න වගේ දේවල් පහසුවෙන් කර ගන්න පුළුවන් මහපටැඟිල්ල නිසයි. ඒ විතරක් නොවෙයි, බිම වැටුණු යමක් ඇහිඳ ගන්නේ, පෑනකින් ලියන්නේ, පින්සලකින් අඳින්නේ, ඒ විදිහේ සියුම් වැඩ පහසුවෙන් කර ගන්නෙත් මහපටැඟිල්ල නිසයි.
(මහපටැඟිල්ල කොච්චර ලොක්කකු වුණත් හරියට වැඩක් කරන්න නම් එයාට අනෙක් ඇඟිලිවල උදවු ඕනෑ.)