රාජ්‍ය සම්මාන ලාභී ලේඛක සුනිල් ජයවීර මහතාගේ පුංචි අපේ රට කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගත් මේ පැදි පෙළ, සමගියෙහි අගය කියා පායි. පාට පෙට්ටියක ඇති පාට කූරු සියල්ල එකට එකතු වුව හොත් කොතරම් අපූරු නිර්මාණ කළ හැකි දැයි මේ කවි පන්තියේ දැක්වෙයි. පාට පෙට්ටියක් ඇසුරෙන් කවියා අපට පවසන දේ හොඳින් විමසා බලමු.
තාත්තා මට ගෙනත් දුන්න
පුංචි පෙට්ටියක් තියෙනවා
ඒ පෙට්ටිය ඇතුළෙ ඉඳන්
පාට පාට හිනා වෙනවා
කහ රතු නිල් පේළි පේළි
එක ම මවකගෙන් ඉපදුණු
එක ම ගෙයක් ඇතුළට වී
අත් බැඳ ගෙන එකට ඉන්න
පුංචි ළමයි වගේ නේද
පොඩි පෙට්ටිය ඇතුළෙ ඉන්නෙ
අපි ඔක්කොම එකතුවෙලා
එකමුතු වී වැඩ කෙරුවොත්
ලස්සන රූපයක් ඔන්න
එහෙම විට දී බිහි වෙනවා
පුංචි නමුත් ටිකිරි නමුත්
මුළු ලෝකයෙ තියෙන පුදුම
ලස්සන දේවල් මවන්න
අපට හැකියි කියා දෙන්න
හිතූ සැණින් අප ඇවිදින්
හිමාලයේ කඳු මුදුනට
මහ මුහුදේ කිඳුරු ලොවට
සුරංගනා ලෝකයකට
අරගෙන යන්නට පුළුවනි
මුළු ලෝකයෙ හැමදෙනෙක් ම
අප දැකලා සතුටු වෙනවා
හිතේ තියන දුක් කරදර
හැම දෙයක් ම නිවිලා යනවා
එකමුතුකම නිසයි අපට
මෙතරම් ලස්සන දේවල්
මුළු ලෝකෙට දෙන්නට හැකි
ඒක නිසා පුංචි ළමයි
පාට වගේ එකමුතු වී
වැඩ කෙරුවොත් භේද නැතුව
මුළු ලෝකෙ ම හරි ලස්සන
රූප පොතක් වගේ නේද