මේ පාඩමට ඇතුළත් වන්නේ අරීසෙන් අහුබුදු සූරීන් පබැඳූ ගීතයකි. සී.ඩී. ෆොන්සේකා සහ ෂර්මිලා ෆොන්සේකා ගායනා කළ මේ ගීතයේ සංගීත නිර්මාණය ද සී. ඩී. ෆොන්සේකාගේ ය. පියකු හා දුවක අතර සිදු වන සංවාදයක් ගීතාත්මක ලෙස ඉදිරිපත් කෙරෙන මේ ගීතය රස විඳ එයින් කියවෙන අදහස විමසා බලන්න.
දුව:- සමන් වැලේ මල් ජයට පිපීලා
මුළු මිදුල මැ සුවඳයි - අපේ මේ
මුළු මිදුල මැ සුවඳයි
පියා:- හැම ගෙදර මැ මල් ජයට පිපේ නම්
ගම්මානෙ මැ සොඳුරුයි - දුවේ මේ
ගම්මානෙ මැ සොඳුරුයි
දුව:- ගමින් ගමට මල් කැකුළු පිපෙන විට
මගෙ රට හරි සුවඳයි - පියාණෙනි
මගෙ රට හරි සුවඳයි
පියා:- රටින් රටට සුව සුවඳ දුවන විට
මුළු ලෝකෙ මැ සුවඳයි - දුවේ මේ
මුළු ලෝකෙ මැ සුවඳයි
දුව:- සමන් මලක් වී පිපෙන්න ආසයි
මගෙ මේ ගේ මිදුලේ - පියාණෙනි
මගෙ මේ ගේ මිදුලේ
පියා:- සමන් වැලක් වී පිපෙන් දුවේ
ජීවිත මල් ගොමුවේ
පර වී හැළුණත් මිනිස් මලේ
පවතී සුවඳ ලොවේ