8 - අත්තහාරත් 2

වුලූඃ - ඉස්ලාමීය මූලික වගකීම් අතුරින් සලාතය ඉතා වැදගත් ස්ථානයක් හිමි කර ගනී. මෙය ඉටුකිරීම සඳහා වුලුඃ අති වැදගත් ය. වුලුඃ නොමැතිව ඉටුකරන කිසිම සලාතයක් අල්ලාහ් විසින් පිළිගනු නොලබන්නේ ය. මුස්ලිම්වරයෙක් හැකි සෑම අවස්ථාවක දීම වුලුඃ සමග සිටීම යහපත් දෙයකි. වුලුඃවල ප්‍රතිඵලය ලෙස මුඃමින්වරු කියාමාවේ දී (කුර්රන් මුහජ්ජලීන්) මුහුණ අත් සහ පාද දීප්තිමත් වූවන් ලෙස පැමිණෙති.

වුලූඃ විධිමත් ලෙස ඉටු කිරීම සඳහා ෆර්ල්, සුන්නත් සහ මුබ්තිලාත් පිළිබඳ ව සැළකිලිමත් විය යුතුයි.

වුලූහි ෆර්ල්

  1. වුලූඃ කිරීම ආරම්භ කරන විට වුලූඃ කරන්නෙමි යන චේතනාව ඇති කරගත යුතු ය. මෙයට අරාබියෙන් "නියියත්" යැයි කියනු ලැබේ.
  2. මුහුණ සම්පූර්ණයෙන් සේදීම, එනම් උසින් නළලේ සිට උගුරු පතුල දක්වා සහ පළලින් කන් දෙක අතර සම්පූර්ණයෙන් ම සේදිය යුතු ය.
  3. වැළමිට ඇතුළුව අත් දෙක සේදිය යුතු ය
  4. හිස මස්හු කළ යුතු ය.
  5. දෙපා විලූඹ දක්වා සේදිය යුතු ය.
  6. ඉහත කරුණු අනු පිළිවෙළට ඉටු කළ යුතු ය.

වුලූඃහි සුන්නතයන්

  1. වුලූඃ කරන අවස්ථාවේ දී කිබ්ලාවට මුහුණ ලා සිටීම
  2. වුලූඃ කරන අවස්ථාවේ දී බිස්මි කීම
  3. දෙඅත් මැණික් කටුව තෙක් සේදීම
  4. දත් මැදීම (මිස්වාක් කිරීම)
  5. කටට හා නාසයට වතුර යොමා සේදීම
  6. දකුණු පස අවයව පෙරටු කිරීම 
  7. හිස සම්පූර්ණයෙන් ම මස්හු කිරීම
  8. කන් දෙක මස්හු කිරීම
  9. සෑම අවයවයක් ම තෙවරක් සේදීම
  10. වුලූඃ සඳහා වන දුආව පාරායනය කිරීම

පහත සඳහන් අයුරු. දෙවන කලිමාව පාරායනයෙන් අනතුරුව පහත සඳහන් දුආව (ප්‍රාර්ථනාව) ද පාරායනය කළ යුතුය,

"නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවකු නොවන්නේය" යැයි ද ඔහු ඒකයකු හා ඔහුට සම කිසිවෙකු නැතැයි ද සාක්ෂි දරමි. තවද මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා අල්ලාහ්ගේ වහලා හා දූතයා යැයි ද සාක්ෂි දරමි.

දෙවියනි, මාව පව් සමා අයදින්නන්ගෙන් කෙනෙකු ලෙසත්, පිවිතුරු පුද්ගලයන් ගෙන් කෙනෙකු ලෙසත්, යහ ගැත්තන්ගෙන් කෙනෙකු ලෙසත්, පත් කරනු මැනවි.

වුලූඃ බිඳවන කරුණු (මුබ්තිලාත්)

  1. ඉදිරිපස හෝ පසුපස විවරයකින් යමක් පිටවීම
  2. සිහි විකල් වීම (සිහිය නැති වීම, නින්ද, මත්බව වැනි එකකින්)
  3. අජ්නබි වන ස්ත්‍රීන් හා පුරුෂයින් තිරයක් නොමැති ව අනුරාගයෙන් ස්පර්ශ කිරීම
  4. තිරයක් නොමැති ව තම සිරුරේ රහස් අංග ස්පර්ශ කිරීම 

ඉහත සඳහන් වුලූඃ හි ෆර්ල්, සුන්නත යනාදිය ගැන සැලකිලිමත් වෙමින් මුබ්තිලාත්වලින් වැළකී සිටිමු.