4 - අල්ලාහ්ගේ මැවුම්

දරුවනි! මිනිසා ඇතුළු අන් සියලූ මැවුම් අල්ලාහ්ගේ මැවීම් බව පසුගිය පාඩමේ දී කියවුවා මතක ද?

අල්ලාහ්ගේ මැවීම් අතර පණ ඇති ඒවා පවතිනවා. මිනිසුන්, සතුන්, කුරුල්ලන්, කෘමීන්, ශාක සහ මත්ස්‍යයන් වැනි දෑ පණ ඇති ඒවා ය. මේවා අතර ශාකවලට එහා මෙහා යා නොහැකිය.

කෘමීන්, ක‍ෂුද්‍ර ජීවීන් හා බැක්ටීරියා ආදීන් අපගේ පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන් ය.

පස, ජලය, ගින්දර, කඳු සහ ගංගා යනාදිය පණ නැති ඒවාය. සුළඟ, විදුලිය, තාපය, චුම්බකත්වය වැනි අල්ලාහ්ගේ මැවිම් වන ශක්තීන්ට ද පණ නැත.

අප ජීවත්වන පෘථීවියට එහායින් පිහිටි අල්ලාහ්ගේ මැවීම් වශයෙන් ඉර, හඳ, තාරකා, ග්‍රහලෝක යනාදිය සඳහන් කරන්න පුළුවන්. විශ්වයේ පවතින අල්ලාහ්ගේ අති විශාල මැවීම් වන මේවා චලනය වෙමින් පවතිනවා. නමුත් ඒවා ද පණ ඇති ඒවා නොවේ.

ලෝකයේ පවතින පණ ඇති, පණ නැති හා විශ්වයේ පවතින අනෙක් අති විශාල මැවීම් සියල්ල ම පුදුම සහගත ඒවා ය. තවද ඒවා මවා ඇත්තේ ද සැලසුම් සහගත ආකාරයටය. ඒවා ක්‍රමවත් ආකාරයට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එමගින් ඒවා මවා ඇත්තේ දැනුම සහ ශක්තිය ඇති අල්ලාහ් විසින් බව අපට මනාව පැහැදිලි වෙනවා නේ ද?

දරුවනි! අපගේ ඉන්ද්‍රියයන්ට ගෝචර නොවී පිහිටන තවත් ලොවක් ද තිබෙනවා. එහි අල්ලාහ්ගේ මැවුම් පවතී. එයින් මලක්වරුන් ප්‍රධාන ය. අල්ලාහ් විශ්වාස කරන මුඃමින්වරුන් ඔහුගේ මලක්වරුන් ගැන ද විශ්වාස කළ යුතුයි. මේ ගැන අල් කුර්ආනය පහත සඳහන් පරිදි පවසයි.

"විශ්වාසවන්තයින් සියල්ලෝ ම අල්ලාහ් සහ ඔහුගේ මලක්වරුන්, ඔහුගේ ආගම් සහ ඔහුගේ වක්තෘන්වරුන් පිළිබඳව විශ්වාස කරති. (2:285)"

අල්ලාහ් පළමු මිනිසා වන ආදම් අලෛහිස්සලාම් තුමා පසෙන් මැව්වේ ය. එහෙත් මලක්වරුන් මවනු ලැබුවේ ආලෝකයෙන් ය. මලක්වරු පිරිමි හෝ ගැහැනු හෝ නොවෙති. ඔවුනට දෙමාපියන් හෝ දරුවන් හෝ නොමැත. මිනිසුනට මෙන් බඩගින්න, පිපාසය, ආශාවන්, වෙහෙස, නින්ද, මහළු වීම හෝ දුබලවීම ආදිය ඔවුනට නැත. එසේම ඔවුනට දේවත්වයක් ද නැත. ඔවුහු අල්ලාහ් විසින් පනවන ලද වගකීම් පැහැර නොහැර ඉටු කරති. ඔවුහු අප්‍රමාණ වෙති.

මලක්වරුන්ගේ සංඛ්‍යාව දන්නේ අල්ලාහ් පමණි. ඔවුන්ගේ සංඛ්‍යාව අති විශාල ය. ඔවුනතුරෙන් වැදගත් අය දස දෙනෙකි. මලක්වරුන් අතරින් ජිබ්රීල් අලෛහිස්සලාම් තුමා ඉතා වැදගත් කෙනෙකි. අල්ලාහ්ගෙන් නබිවරුන් වෙත
පණිවිඩ ගෙන එන්නේ ඔහුය. අර්රූහ්, නාමූසුල් අහ්ලම්, සහ රූහුල් කුද්ස් යනාදී සුවිශේෂී නම් ද ඔහුට ඇත.

මීකායීල් අලෛහිස්සලාම් තුමා යන මලක්වරයා සුළඟ, ජලය, ගින්න, වැනි ඒවා භාරව කටයුතු කරයි. ඉස්රාෆීල් අෙලෙහිස්සලාම් තුමා කියාමා දිනය ළඟාවන විට සූර් පිඹියි. මලකුල් මව්ත් අලෛහිස්සලාම් තුමා ප්‍රාණය අත්පත් කරයි. රකීබ්,- අතීද් අලෛහිස්සලාම් යන දෙදෙනා මිනිසා කරන හොඳ නරක සටහන් කරති. මුන්කර්, නකීර් අලෛහිස්සලාම් තුමානන් දෙදෙනා කබ්ර් හි ප්‍රශ්න කරති. රිල්වාන් අලෛහිස්සලාම් තුමන් ස්වර්ගයේ අධිපතියා ය. මාලික් අලෛහිස්සලාම් තුමා නිරයේ අධිපතියා ය.

අපගේ ඉන්ද්‍රියයන්ට ගෝචර නොවන ආකාරයේ අල්ලාහ් ගේ මැවුම් අතර තවත් කොටසක් ද වෙති. ඔවුහු ජින්වරු නම් වෙති. ඔවුහු ගින්නෙන් මවනු ලැබූ අය වෙති. මිනිසුන්ට මෙන් මොවුන්ට ද කුසගින්න, පිපාසය, නින්ද, ආශාවන් හා පවුල් ආදිය ඇත. මිනිසුන් මෙන් ජින්වරු ද අල්ලාහ් නැමැදීම හා ඔහුට කීකරු වීම කෙරෙහි අණ කරනු ලැබ සිටිති.

ජින්වරුන් අතර අල්ලාහ්ට අවනත නොවන පිරිස ෂෛතාන්වරු ය. නොයෙකුත් ආකාරයේ නොසන්සුන් තාවයන් ඇති කරන ෂෛතාන්වරුන්ගේ නායකයා ඉබ්ලීස් ය.

දරුවනි! අල්ලාහ් ගේ මැවුම් පුදුම සහගත බව ඔබට වැටහෙනවා ඇත. මෙම කරුණුවලින් පෙන්වා දෙන ආකාරයට සියල්ලෙහි ම මැවුම්කරුවා, සර්ව බලධාරියා අල්ලාහ් බව අපි විශ්වාස කරන්නෙමු.