1 - ඊමාන් පිළිබඳ හැඳින්වීම

ආමන්තු බිල්ලාහ් ! මම අල්ලාහ් විශ්වාස කරමි.

මා මවනු ලැබුවේ අල්ලාහ් විසිනි. මිනිසා ගැහැනු හා පිරිමි වශයෙන් ඔහු මැව්වේ ය. විවිධ පාටවලින් හා විවිධ හැඩරුවෙන් යුක්තව මැව්වේ ය. විවිධ ජාතින් ඇති කළේ ය. විවිධ භාෂා කතා කරන්නන් ද බිහි කළේ ය. ඥාති සම්බන්ධතා ඇති කළේ ය. නෑදෑ හිතවතුන් දයා සෙනෙහසින් බැඳ තැබුවේ ය. අන් සියලූ මැවීම්වලට වඩා උසස් තරාතිරමක් මිනිසාට ලබා දුන්නේ ය.

අප ජීවත්වන භූතලය මැව්වේ ඔහු ය. ඉර, හඳ, තාරකා සහිතව වහලක ආකාරයෙන් අහස මැව්වේ ය. කණු මෙන් උස කඳු පොළොව මත සිටවූයේ ය. වලාකුළු පුළුන් මෙන් පාවී යන්නට සැලසුවේ ය. ගංගා ඇළ දොළ හා උල්පත් ආදිය පොළොව මත ගලා යෑමට සැලැස්වූයේ ය. මිනිසා ජීවත් වීමට සුදුසු පරිදි භූතලය සකස් කළේ ය. ආමන්තු බිල්ලාහ්! මම අල්ලාහ් විශ්වාස කළෙමි.

ඔහු පොළොවේ ජීවීන්ගේ පැවැත්ම සඳහා වායුගෝලය මැව්වේ ය. මිනිසාට ශ්වසනය කිරීම සඳහා ඔක්සිජන් වායුව ද ශාක ප්‍රභාසංස්ලේෂණය සඳහා කාබන්ඩයොක්සයිඩ් වායුව ද මැව්වේ ය. මිනිසා පිටකරන කාබන්ඩයොක්සයිඩ් වායුව ශාක ප්‍රභාසංස්ලේෂණය සඳහා භාවිත කරන අතර එම ශාඛ මිනිසාගේ ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් පිට කරන්නේ ය. මෙමගින් මිනිසා සහ ජීවීන් අතර සම්බන්ධයක් ඇති කළේ ය. මෙම ක්‍රමවත් චක්‍රය ඇති කළේ අල්ලාහ් ය. ආමන්තු බිල්ලාහ්! මම අල්ලාහ් විශ්වාස කළෙමි.

උදෑසන ඉර පායයි. ලොව අවදි වන්නේ ය. එවිට ජනයා තම දිනචර්යාවල නිරත වීමට පටන් ගන්නෝ ය. ඉපැයීම් ඇතුළු විවිධ කටයුතුවල යෙදෙන්නෝ ය. සවස ඉර බැස යන විටම ලොව අන්ධකාර වේ. වෙහෙස වූ ජනයා රාත්‍රියේ
නිදාගන්නෝ ය. වෙහෙස නිවී නින්ද පහවී නැවත උදෑසන අවදි වෙති. සැමදා අඛණ්ඩ ලෙස පවතින මෙම ක්‍රියා පටිපාටිය සකසන ලද්දේ අල්ලාහ් විසිනි. ආමන්තු බිල්ලාහ් ! මම අල්ලාහ් විශ්වාස කළෙමි.

අහසින් වැසි වසින්නේ ය. වියළී ගිය පොළොව තෙමෙන්නේ ය. තණකොළ වැඩෙන්නේ ය. වැල් විහිදෙන්නේ ය. පැළෑටි දලූලන්නේ ය. ගස් වැඩෙන්නේ ය. ආමන්තු බිල්ලාහ්! මම අල්ලාහ් විශ්වාස කළෙමි.

මේ සියල්ල ම සිදුවන්නේ එකම ජලයෙහි. එහෙත් තණකොළ වැඩී කොළ පැහැයෙන් දිස් වන්නේ ය. මල් පිපී විවිධ වර්ණයෙන් දිලෙන්නේ ය. හරිත වර්ණයෙන් යුත් තණ බිම්වල ගවයින් තණ බුදින අයුරු බලන්න. සමනල්ලූ මල්වලින් මල්පැණි උරා බොති. පක්ෂීහු පළතුරු කමින්, නාදකරමින් සතුටු වෙති. මිනිසා ද අනුමත ශාක හා සතුන් පිස අනුභව කරන්නේ ය. මෙතරම් වූ පුදුම සහගත ක්‍රියා දාමයක් ඇති කළේ අල්ලාහ්ය. ආමන්තු බිල්ලාහ්! මම අල්ලාහ් විශ්වාස කළෙමි.

 

මිනිස් සිරුර තුළ ද අල්ලාහ්ගේ විශ්මයජනක සංවිධානය දැකිය හැකි ය. ශ්වසන පද්ධතිය, ස්නායු පද්ධතිය, ජීරණ පද්ධතිය, රුධිර පද්ධතිය යන සියල්ල ක්‍රියාත්මක වන්නේ ක්‍රමානුකූලව ය. බැලීමට ඇස්, අසන්නට කන්, රසවිඳීමට හා කතා කිරීමට දිව යන සියල්ලෙහි ම අල්ලාහ්ගේ ආශ්චර්යවත් මැවීම් දැකිය හැකි ය. ආමන්තු බිල්ලාහ්! මම අල්ලාහ් විශ්වාස කළෙමි.

මෙසේ සියලූ මැවීම්වල ම අල්ලාහ්ගේ පුදුම සහගත ක්‍රියාදාමයක් දැකිය හැකි ය. මේවා අහම්බෙන් හෝ ක‍්ෂණිකව හෝ බිහිවූ ඒවා නොවේ. දැනුම හා හැකියාව ඇති අල්ලාහ් විසින් මේවා මවා ක්‍රියාත්මක කරවන්නේ යැයි මම විශ්වාස කරමි. ඔහු පහළ කළ දේව ග්‍රන්ථ විශ්වාස කරමි. අල්ලාහ් විශ්වාස කරන මුස්ලිම් වන මම ඔහුගේ මලාඉකාවරුන් ද විශ්වාස කරමි. ඔහු පහළ කළ වක්තෘවරුන් ද විශ්වාස කරමි. අවසන් දිනයක් ඇති බව විශ්වාස කරමි. සියල්ල සිදුවන්නේ ඔහුගේ සැලැස්ම අනුව (කද්ර්) යැයි විශ්වාස කරමි. ආමන්තු බිල්ලාහ් ! මම අල්ලාහ් විශ්වාස කළෙමි.