13 - ගුරුවරුන්ට සළකමු

ජාහිලියියා නමින් ඒ යුගය විය
ලොව මිනිසා අඳුරෙහි පසුවිය
නැණ පහන දල්වනු පිණිසමය
ලොව වැඩියේ අප නබිතුමන්මය

නබිවරු හැර ගියේ ලොවේ
රන් රිදී හෝ අන් දෙයක් නොවේ
දැනුමයි ප්‍රඥාවයි මෙලොවේ
සම්පත් ලෙස ගෙන හැර පෑවේ

දෑසෙහි එළිය ලැබුවෝ
ලද්දෝය දැනුම ලැබුවෝ
විදුන්ගේ එබස් ඇසුවෝ
වන්නෝය සොඳුරු දරුවෝ

තමන් දැනුම ලැබ නොමදා
දුනහොත් අන් අයට බෙදා
ලබයි දායාද හිමිගෙන් සැමදා
කීහ නබිතුමන් හොඳින් පහදා

දැනුම ලබා නැණවත් ව වෙසෙන්නා
නබි පරපුර වෙත උරුම කියන්නා
ඒ ලෙස නබි උතුමා පවසන්නා
එය පිළිපැද අප පෙරටම යන්නා

සිසුනට නිබඳව දැනුම බෙදා දෙන
මවුනගේ ගුණ නැණ නිතරම වඩන
රට දැය වැඩුමට නිති මග පෙන්වන
උතුමෙකි ගුරුවරයා යැයි නම් වන

දියෙහි පිහිනා යන මත්සයනුත්
අහසෙහි පියඹා යන පක්ෂියනුත්
පොළොවෙහි දුවනා සිව්පාවනුත්
මලක්වරු කියනා සුර දූතයිනුත්

පතයි සැම දෙන දැනුම ලැබීමට
විදුන් වන අප ගුරු උතුමන් හට
පතමු අපත් එලෙසින් ම ඔවුන් හට
ඉස් මුදුනින් ම සළකා ඔවුනට

දනී ද ජාති ආගම් කුල භේදා
විදුන් වන අප ගුරුන් කිසි දා
දෙමින් හැකි ගරු බුහුමන් සැම දා
පතමු සැම රහ්මත් මුළු හදින් නිබඳා

අල්ලාහ් අප වෙත සතුටින් දෙන ලද
මහඟු තිළිනයකි ගුරුවරු හැම සඳ
ඔවුනට බැති සිත සුදමින් නිසි ලෙස
අයදිමු ගුරු කැල රැක දෙනු හැම සඳ