7 - ජේසුස් වහන්සේගේ උපත

පීටර් - දරුවෙක් අඬන හඬක් ඇසෙනවා.

ඇන්ටනි - කාගේ ද ඒ හඬ?

මරිය තුමිය - මං කියන්නම්, ඒ හඬ කාගෙ ද කියලා. එක දවසක් මං නිවසේ සිටියා. දෙවියන් වහන්සේගේ ගාබ්‍රියෙල් නම් දේව දූතයා මා වෙතට පැමිණියා.

දේව දූතයා - විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; ස්වාමින් වහන්සේ ඔබ සමග ය.

මරිය තුමිය - මා ගොඩක් කැළඹුණා. එතකොට;

දේව දූතයා - මරියාවෙනි බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ලද්දෙහි ය. මේ බලන්න, ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නෙහි ය; ඔවුන් වහන්සේට "ජේසුස්" යන නාමය තබන්න.

මරිය තුමිය - මට පුරුෂයකු නැති බැවින් මෙවැන්නක් කෙසේ සිදුවිය හැකි ද?

දේව දූතයා - ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසා ගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය'යි කියනු ලබන සේක. බලන්න, ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලූ වයසේ දී පුතකු පිළිසිඳ ගත්තා ය. වඳ යයි කී ඇයට දැන් සවැනි මාසය ය. මක්නිසාද, දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැත.

මරිය තුමිය - "බලන්න, මම ස්වාමීන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම ඉටු වේවා"යි කියා මම දේව කැමැත්තට හිස නැමුවා.

පීටර් - ඉතින්, ජුසේ තුමා ඔබතුමිය පිළිගන්න කැමති වුණා ද?

මරිය තුමිය - නැහැ, නමුත් දෙවියන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් එතුමාටත් දර්ශනය වුණා. මා ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ අනුහසින් බවත්, මා බිහිකරන පුතුට "ජේසුස්" යන නම තබන ලෙසත්, එමගින් යෙසායා දිවැසිවරයා පැවසූ වදන් ඉටු වන බවත් පැවසුවා. ඔහුත් දේව කැමැත්තට අවනත වුණා.

ඇන්ටනි - ඉතින්,ජේසු ඉපදුණේ කොහේ ද?

මරිය තුමිය - ඒක දිග කථාවක්. ඒ කාලේ රෝම අධිරාජ්‍යයේ සියලූ වැසියන්ගේ සංගණනයක් ගැනීමට අගොස්තුස් අධිරාජයා වෙතින් නියෝගයක් නිකුත් වුණා.

අණබෙරකරු - අසව්, අසව්. අධිරාජයේ සියලූ වැසියන්ගේ සංගණනයක් ගනු පිණිස තම තමන්ගේ නුවරට ගොස් ලියාපදිංචි වෙනු!

මරිය තුමිය - ජුසේ තුමා දාවිත්ගේ වංශයට හා පෙළපතට අයිති නිසා ජුසේ තුමාත් මමත් ගලීලයේ නාසරෙත් නුවරින් නික්මිලා ජුදයේ බෙත්ලෙහෙම නම් දාවිත්ගේ නුවරට ගියා. එතකොට ජේසු බිළිඳාණන් උපත ලබන්න දිනත් සම්පූර්ණයි. කළුවරත් වැටුණා. ජුසේ තුමා අපට රෑට නවතින්න තානායමක් හෙව්වා.

ජුසේ තුමා - අද අපට මෙහි නවාතැන් ගන්න පුලූවන් ද?

තානායම්කරු - අද අපේ තානායමේ සෙනඟ. මං හිතනනේ නෑ මේ හරියේ කිසි තානායමක ඉඩ ඇති කියලා. ඒත් ඔබේ බිරිඳ ඉන්නේ අමාරුවෙන්. කැමති නම් අපේ ගව මඩුවෙ නවතින්න.

ජුසේ තුමා - ඔබට ස්තුතියි.

පීටර් - ඉතින් ඔබ දරුවා බිහි කළේ ගවමඩුවක ද?

මරිය තුමිය - ඔව්, මං දේව කැමැත්තට හිස නමමින් කුළුඳුල් පුත්‍රයා බිහි කොට රෙදිවලින් ඔතා, ගව ඔරුවක තැබුවා. එම පළාතෙහි එඬේරු රෑ යාමයෙහි සිය බැටළු රැළ රකිමින් පිට්ටනියේ සිටින විට දෙවියන් වහන්සේගේ දූතයෙක් ඔවුන්ට දර්ශනය වුණා.

දේව දූතයා - "බිය නොවන්න; මෙන්න, සකල ජනයා හට ඉතා ආනන්දජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි." ක්‍රිස්තුස් නම් ගැලැවුම්කාරයෙක් ඔබහට, දාවිත්ගේ නුවර අද උපන්නේ ය. රෙදිවලින් ඔතා ගව ඔරුවක බාවා සිටින බිළිදෙක් ඔබට හමු වන්නේ ය. එය ඔබට ලැබෙන සලකුණ යි.

එඩේරෙක් - අන්න, දේව දූතයෝ ප්‍රශංසා ගීත ගයනවා. අපි දැන් ම යමු, බෙත්ලහෙම් නුවරට එතුමාණන් නමදින්න.

ඇන්ටනි - ඉතින්, එඬේරු විතර ද ආවේ ජේසු බලන්න?

මරිය තුමිය - නෑ ජේසු ඉපදුන බව දන්වන්නට අහසේ වල්ගා තරුවක් පෑව්වා. පෙරදිගින් ශාස්ත්‍රවන්තයින් තිදෙනෙක් පැමිණියා. ඔවුන් රජ මාලිගාවටයි ගියේ.

ශාස්ත්‍රවන්තයෝ - ජුදෙව්වරුන්ට රජ ව උපන් උතුමාණෝ කොතැන්හි ද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක, එතුමාණන්ට නමස්කාර කරනු පිණිස ආවෙමු.

හෙරොද් රජ - එහෙම දෙයක් මම දන්නේ නෑ. හොයලා බලන්නම්. (රාජ සේවකයන් අමතා) සියලූ නායක පූජකයන් ද විනයධරයන් ද රැස් කරව.

නායක පූජකයන් - රජතුමනි, අප කැඳවූයේ කිම ද?

හෙරොද් රජ - ක්‍රිස්තුන් වහන්සේ උපත ලැබුවේ කොහි ද?

නායක පූජකයන් - රජතුමනි, ජුදයේ බෙත්ලෙහෙමෙහි

හෙරොද් රජ - ඔබ දන්නේ කෙසේ ද?

නායක පූජකයන් - එය දිවැසිවර ග්‍රන්ථයේ සඳහන් වෙනවා.

හෙරොද් රජ - (රහසින් ශාස්ත්‍රවන්තයින් තිදෙනා කැඳවා) ඔබ ගොස් ඒ ළදරුවා ගැන විමසා මටත් දැනුම් දෙන්න. මම ද ඔහුට නමස්කාර කළ යුතු යි.

පළමු ශාස්ත්‍රවන්තයා - අන්න....... අප පෙරදිග දී දුටු තාරකාව ගවමඩුව ළඟ නතර වුණා.

දෙවන ශාස්ත්‍රවන්තයා - අපි යමු. අපි ගෙනා රන් ද තුවරලා ද ගන්ධරස ද පූජා කර, පසඟ පිහිටුවා වඳිමු.

ඇන්ටනි - ඉතින්, අර ශාස්ත්‍රවන්තයෝ, රජවරු හෙරොද් රජුට පණිවිඩය කිව්ව ද?

මරිය තුමිය - නැහැ, දෙවියන් වහන්සේ ඔවුන්ට සිහිනයකින් හෙරොද් වෙත නොයන ලෙස දැන්වූවා. ඔවුන් අන් මඟකින් ඔවුන්ගේ රටවලට ගියා.

පීටර් හා ඇන්තනි - අපිත් කැමතියි ඔබතුමිය වගේ හැමදාම දේව කැමැත්ත ඉටු කරන්න.

මරිය තුමිය - ඔබ සියලූදෙනාට ම දේව කැමැත්ත ඉටු කරන්න ලැබෙන්න කියලා මං දෙවියන් වහන්සේ ඉදිරියේ යාච්ඤා කරන්නම්.

 

ජේසුස් වහන්සේට නම් තැබීම

ජේසුස් වහන්සේ කැප කිරීම

ජුදා ජාතිකයන්ගේ ආගමික හා ජාතික චාරිත්‍ර කිහිපයක් ඉහත බයිබල් පාඨ ගෙන හැර දක්වයි. ඒවා නම්;

  • අටවන දින චර්මඡේදනය කිරීම
  • නම් තැබීම
  • පිරිසිදු වීමේ පිළිවෙත් සිදු කිරීම
  • කුළුදුල් දරුවන් දෙවියන් වහන්සේට කැප කිරීම.

මරිය තුමිය හා ජුසේ තුමා ද එම ජුදා ආගමික හා ජාතික චාරිත්‍ර සිදු කළෝ ය.

අද සමාජයේ බොහෝ දෙනා ජාතික හා ආගමික චාරිත්‍ර නොසලකා හැරීමට පුරුදු වී සිටිති. එහෙත් ශුද්ධ වූ පවුලෙන් අපට ලැබෙන ආදර්ශය මෙයට හාත්පසින් ම වෙනස් ය. බිළිඳු ජේසුස් වහන්සේ ව අට දවස පිරුණු කල චර්මෙජ්දනය කෙරිණි. දේව දූතයන් විසින් දෙන ලද "ජේසුස්" යන නාමය තැබිණි. එසේ ම මෝසෙස් තුමාගේ ව්‍යවස්ථාව අනුව පිරිසිදු වීමේ කාලය පැමිණියෙන් බිළිඳු ජේසුස් වහන්සේ ව ජෙරුසලම් නුවර දේව මාලිගයෙහි ඔප්පු කරනු ලැබිණි.

මේ කරුණුවලින් පැහැදිලි වන්නේ ජාතික හා ආගමික චාරිත්‍රවලට අප ද ගරු කළ යුතු බව ය.