8 - ජේසුස් වහන්සේගේ ළමා කාලය

ජේසු කුමරුන් දේව මාලිගයට යාම

ජුදා සිරිතට අනුව, ජේසුස් වහන්සේගේ දෙමව්පියෝ අවුරුදු පතා පාස්කුෙ උළෙල සඳහා ජෙරුසලමට ගියහ. එලෙස ම ජේසු කුමරුට අවුරුදු දොළහ සම්පූර්ණ වී තිබුණු විට ද ඔවුන් වහන්සේ කැටුව මරිය තුමිය හා ජුසේ තුමා ද නෑ හිත මිතුරන් ද ජෙරුසලම බලා ගියෝ ය. පාස්කු මංගල්‍යයෙන් පසු මරිය තුමිය හා ජුසේ තුමා ආපසු පැමිණියත් ජේසු කුමරාණෝ ජෙරුසලමේ නැවතුණහ.

ඒ බව නොදත් දෙමව්පියෝ, ජේසු කුමරාණන් තම නෑ මිතුරන් අතර සෙවූහ. එතුමා ඔවුන් අතර නොසිටි බැවින් ජෙරුසලමට පෙරළා ගියහ. තෙදිනකට පසු මරිය තුමිය හා ජුසේ තුමා ජෙරුසලමට පැමිණියෝ ය. දේව මාලිගාවෙහි පඬිවරුන් මැද වැඩ හිඳිමින් ඔවුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සිටින ජේසු කුමරා දුටුහ.

මරිය තුමී - පුතා, කුමක් නිසා අපට මෙසේ කෙළෙහි ද? බලන්න, ඔබේ පියා ද මම ද දුකින් තැවි තැවී ඔබ සෙවීමු.

ජේසු කුමරාණෝ - ඔබ මා සෙව්වේ මන් ද? පියාණන්ගේ මැඳුරෙහි මා සිටිය යුතු බව ඔබ නොදන්නහු ද?

ජේසු කුමරු පැවසූ දේ ඔවුන්ට අවබෝධ නොවී ය. මරිය තුමිය මේ සියලූ දේ තම සිතෙහි නිදන් කර ගත්තා ය.

ජේසුස් වහන්සේ මෙලොවට පැමිණියේ, ගැලැවීමේ කාර්ය ක්‍රියාත්මක කිරීමට ය. ළමා කාලයේ දී පවා ජේසුස් වහන්සේ තම පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට ඉදිරිපත් වූ සේක. කිතුනු දරුවන් වන අප ද දෙවියන් වහන්සේ ලෝකයට හඳුන්වා දීමට කැඳැවීමක් ලබා ඇත. එම කැදැවීමට අනුව දෙවියන් වහන්සේ ව ලෝකයට හඳුන්වා දීමට ළමා කාලයේ සිට ම පුංචි අප ඉදිරිපත් විය යුතු ය. මේ සඳහා ළමා ජේසුස් වහන්සේගේ ජීවිතය ආදර්ශයට ගත යුතු ය.

දේව මාලිගයේ නැවතුණු ජේසුස් වහන්සේ සොයා ගිය මරිය තුමියගේ හා ජුසේ තුමාගේ ආදර්ශයෙන් අපට පෙන්නුම් කරන්නේ, දෙමව්පියන් තම දරුවන් ගැන ඉතා සෝදිසියෙන් සිටිය යුතු බව ය.

ජේසුස් වහන්සේගේ වර්ධනය

ළමා වියේ ජේසුස් වහන්සේ වැඩුණු ආකාර ශුද්ධ වූ ලුක් තුමා මෙසේ ගෙන හැර දක්වයි.

කුඩා වියේ සිට ම දේව කැමැත්තට අවනත වූ ජේසුස් වහන්සේ ද යහපත් ගුණාංගවලින් වර්ධනය වූ බව ලුක් තුමා පවසයි. ළමා වියේ දී දේව මාලිගාවේ පඬිවරයන් මැද වැඩහිඳ ඔවුන් පවසන සියල්ල අසමින් වාද විවාදයෙහි යෙදුණු ආකාරයෙන් අපට පෙනී යන්නේ, ජේසුස් වහන්සේ ප්‍රඥා මහිමයෙන් වර්ධනය වූ ආකාරය යි. දේව පුත්‍රයා වුව ද ජේසුස් වහන්සේ තම දෙමාපියන්ට කීකරු ව තම නිවසේ කටයුතුවලට ද උදව් කළ සේක. මෙලෙස ඔවුන් වහන්සේ කාය ශක්තියෙන් වැඩිණි.

ජේසුස් වහන්සේ තම දෙමාපියන් සමග ආගමික කටයුතුවල නිරත වෙමින් යාච්ඤා කරමින් කල්ගත කළහ. උදාහරණ-:- ජේසුස් වහන්සේ කැප කිරීම සඳහා ඔවුන් වහන්සේගේ දෙමව්පියෝ ජෙරුසලම් දේව මාලිගයට ගෙන යාම, දොළොස් වියේ දී ජෙරුසලමේ පාස්කු මංගල්‍යයට යාම. දෙමාපියන්ට මෙන් ම අන් අයට සහාය වෙමින් සමාජයේ නීති රීතිවලට ගරු කරමින් ඔවුන් වහන්සේ හැදී වැඩුණු සේක. මෙයින් අපට පෙනී යන්නේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ හා මනුෂ්‍යයාගේ ප්‍රසාද ලබමින් වැඩුණු ආකාරය යි. මෙලෙස බලන කල ලුක් තුමා එක් වැකියකින් වුව ද ජේසුස් වහන්සේ තුළ ඇති වූ පෞරුෂ සංවර්ධනය කැටි කර දී ඇත.

අපගේ පෞරුෂ වර්ධනය සඳහා ජේසුස් වහන්සේ මෙන් අපිත් මානසික ව, ශාරීරික ව, ආධ්‍යාත්මික ව හා සමාජයීය ව වර්ධනය විය යුත්තෙමු. පොත්, පුවත්පත් හා සඟරා කියවමින් හා හොඳින් ඉගෙන ගනිමින් මානසික වර්ධනය ඇති කර ගෙන බුද්ධිමත් විය යුත්තෙමු.

නිසි පෝෂණයෙන් යුතු ආහාර පාන ලබා ගනිමින් ද ක්‍රීඩා කටයුතු හා ව්‍යායාමවල නිරත වෙමින් ද අපට ශාරීරික වර්ධනය ඇති කර ගත හැකි ය.

යාච්ඤාවේ දිවි පෙවෙතක් ගත කරමින් ආගමික භක්ති අභ්‍යාසවල නිරත වෙමින් අපට ආධ්‍යාත්මික ව වර්ධනය විය හැකි ය.

ඔබ ජීවත් වන සමාජය (නිවස, පාසල, දේවස්ථානය, ගම, නගරය) තුළ කැප වී සේවය කිරීම තුළින් සමාජයීය වශයෙන් වර්ධනය විය හැකි ය. විශේෂයෙන් ළමා ජේසුස් වහන්සේගේ ජීවිතය ආදර්ශයට ගනිමින් තම පවුලේ අය සමග සහයෝගයෙන් වැඩ කටයුතු කිරීම, පාසලේ හා ගමේ ශ්‍රමදාන කටයුතුවලට සහභාගිවීම දේවස්ථානයේ වැඩ කටයුතුවලට සහාය දැක්වීම වැනි දැ අපට කළ හැකි ය. සමාජයට උපරිම සේවයක් කරමින්, අපිත් ජේසුස් වහන්සේ මෙන් මානසික, ශාරීරික ආධ්‍යාත්මික හා සමාජයීය වශයෙන් වර්ධනය විය යුත්තෙමු.