22 - නමෝ මරිය යාච්ඤාව

දොමිනික් ගුස්මාන් පියතුමන්ට දේව මාතාවන් දර්ශනය වීම.

13වන ශතවර්ෂයේ මුල් කාලයේ දී දකුණු ප්‍රංශය හා උතුරු ඉතාලියේ කිතුනු විශ්වාසයට එරෙහි ව විවිධ බලවේග ක්‍රියාත්මක විය. උද්ගත වී ඇති මෙම තත්ත්වය හමුවේ ස්පාඤ්ඤ ජාතික ගරු දොමිනික් ගුස්මාන් පියතුමන් බෙහෙවින්
කම්පනයට පත්විය. එහෙයින් එතුමන් 'ටු ලූස්' ආශ්‍රිත ප්‍රදේශයක තෙදිනක් යාච්ඤා ද මර්දන ක්‍රියා ද කරමින් මෙම තත්ත්වය වෙනස් කර දෙන ලෙස දෙවි පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටි සේක. තෙදිනක යාච්ඤාව අවසානයේ දී දොමිනික් තුමන්ට ජපමාලය අතින් දරාගත් මරිය තුමිය සුරදූතයන් සමඟින් දර්ශනය විය.

මරිය තුමිය : දොමිනික්, ලොව ප්‍රතිසංස්කරණයට, ශුද්ධ වූ ත්‍රිත්වය භාවිත කරණ ආයුධය කුමක් ද?

දොමිනික් පියතුමා : අහෝ මරිය තුමියනි, ඔබ පුත් ජේසු තුමන්ට ආසන්න ව ගැලවීමේ සැලැස්මේ ඔබ තබා ඇති හෙයින්, මට වඩා ඔබතුමිය එය දන්නෙහි ය.

මරිය තුමිය : තද සිත් ඇති ආත්මයන් වෙත ළගා වී ඔවුන් දිනා ගැනීමට මාගේ ජපමාලයේ භක්තිය පතළ කරන්න.

 

පාතිමා නුවර දේව මාතාවන් දර්ශනය වීම

එක ම පවුලේ සොහොයුරු සොහොයුරියන් වූ ප්‍රැන්සිස් හා ජසින්තාත් ඔවුන්ගේ ඥාති සොහොයුරිය වූ ලූසීත් පාතිමා නුවර ජීවත් වූහ. තම පවුල්වලට අයත් සතුන් රැකබලා ගැනීම ඔවුන් වෙත පැවරුණු කාර්යයකි. 1917 මැයි 13වන ඉරුදින සුපුරුදු පරිදි මෙම දරුවන් තම පවුල්වලට අයත් බැටළුවන්ට තණ කවමින් සිටියෝ ය. එකවර ම විදුලි කෙටීමක් වැනි ආලෝක ධාරාවකින් ඔවුන් සිටි ප්‍රදේශය ආලෝකවත් විය. බියට පත්වුණු දරුවෝ එතැනින් නික්මෙන්නට සුදානම් වෙත් ම ඒ අසල වූ එතරම් උස් නොවූ ඕක් ගසක ආලෝක ධාරාවක් මැද හිඳ තමන් දෙස බලා සිටිනා රූමත් කාන්තාවක් දුටුවෝ ය. ජපමාලය ද අත දරා සිටි එතුමිය "බිය නොවන්න, මම ඔබට අනතුරක් නොකරමි"යි ප්‍රකාශ කළා ය. සිතට දිරිගත් ලුසී "ඔබ ආවේ කොහින් දැ"යි ඇසු ප්‍රශ්නයට "මම ආවේ ස්වර්ගයෙන්" යැයි එතුමිය පිළිතුරු දුන්නා ය. ලෝකවාසි පව්කරුවන්ගේ සිත් හැරීම සඳහා මැදිහත් වන ලෙස දරුවන්ගෙන් ඉල්ලු එතුමිය ඒ වෙනුවෙන්, "ජපමාලය කියන්න, හරියට කියන්න" යයි පවසමින් නොපෙනී ගියා ය.

 

ලුර්දු නුවර දේව මාතාවන් දර්ශනය වීම

1858 පෙබරවාරි 11වන දින බර්ණදෙත් නම් දැරිය තම සොහොයුරිය හා අසල්වැසි මිතුරියක සමඟින් දර කැඩීමට ලුර්දු නුවර අසලින් ගලා යන ගංතෙර අබියසට ගියෝ ය. බර්ණදෙත් ගෙඟන් එතෙර වීමට සූදානම් වෙත් ම දැඩි සුළඟක් හමන්නාක් මෙන් හඬකින් අවට ප්‍රදේශ වෙළී ගියේ ය. බියට පත් වූ බර්ණදෙත් වටපිට බලත්ම දිය පහරින් එතෙර පිහිටි ගුහාවෙහි රන්වන් වළාපටලක් මැදින් සුන්දර කාන්තාවක් මතුවනු දුටුවා ය. බර්ණදෙත් තුමිය තම අත්දැකීම මෙසේ විස්තර කර ඇත. "මා වෙත ඇස් යොමා මඳ සිනා පා ඒ කාන්තාව තමන් වෙත එන ලෙස මට ඉඟි කළා. මා තුළ බිය නැති විය. මා කොහි සිටියාදැ'යි මට ම අමතක විය. මා ඇස් වැසුවා. ඇස් ඇරියා. ඒත් ඒ ශෝභමාන කාන්තාව මා දෙස බලා සිටියා. සැනෙකින් මා ජපමාලය අතට ගෙන දණ ගැසුවා. ඒ කාන්තාව ද තම බාහුවේ එල්ලෙමින් තිබුණ ජපමාලය සුරතට ගත්තා. මා ජපමාලය කියන විට ඇයගේ ජපමාලය කෙමෙන් කෙමෙන් ලිස්සා ගියා. ඊට පසුව ඕ වලාකුළක් සමඟ ගුහාව තුළට ම ගියා."

මරිය තුමි දර්ශනය වූ මේ සැම අවස්ථාවක දී ම ජපමාලය උච්චාරණය කරන්නැ'යි ලෝකවාසී ජනතාවගෙන් අයැද සිටියා ය. ජපමාලය උච්චාරණයේ දී "නමෝ මරිය" යාච්ඤාව අප විසින් කියනු ලබයි. "නමෝ මරිය" යාච්ඤාව කොටස් තුනකින් සමන්විත ය.

  1. ගාබ්‍රියෙල් දේව දූතයා මරිය තුමියට මංගලම් කීම පදනම් කරගෙන (ලුක් 1:26-38) නමෝ මරිය යාච්ඤාවේ පළමු කොටස නිර්මාණය වී ඇත:
    "නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි" ය.
  2. එළසබෙත් තුමියගේ ආචාරය පදනම් කරගෙන (ලුක් 1:42) දෙවන‍ෙකොටස නිර්මාණය වී ඇත:
    "ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ ය. ඔබගේ ශ්‍රී කුසයෙහි ඵලවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුම ය."
  3. ශුද්ධ වූ සභාව විසින් එක් කළ කොටසින් තෙවන කොටස නිර්මාණය වී ඇත:
    "සාන්ත මරියනි, දේව මෑණියනි, පාපි වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිත් යාච්ඤා කළ මැනව. ආමෙන්."

"මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේවා" යි පැවසූ මරිය තුමිය දේව කැමැත්තට හිස නමා තම ජීවිතය අවසානය දක්වා ම දේව කැමැත්ත ඉටු කළා ය. එබැවින් ශුද්ධ වූ සභාවේ මාතාව ලෙස
අභිෂේක ලබන්නට තරම් එතුමිය වාසනාවන්ත වූවා ය. එම නිසා ම;

* මරිය තුමියගේ මංගල්‍යයන් රැසක් ජනවන්දනා (දේව වන්දනා) වසර තුළ සමරනු ලබයි.

නිදසුන්

  • අති පරිශුද්ධ දේව මාතාවන්ගේ මංගල්‍යය (ජනවාරි 01)
  • දේව මාතාවන් පරලොවට වැඩිය මංගල්‍යය (අගෝස්තු 15)
  • දේව මාතාවන් ජම්ම දෝෂයෙන් නිර්දෝෂ ව පිළිසිඳීමේ මංගල්‍යය (දෙසැම්බර් 08)

* දේව මාතාවන් මුල්කොට ගෙන යාච්ඤා, ගීතිකා, භක්ති අභ්‍යාස යනාදිය නිර්මාණය වී තිබීම.

* මරියතුමිය වෙනුවෙන් දේවස්ථාන කැපකර ඒවායෙහි වාර්ෂික මංගල්‍යයන් සැමරීමට අවසර දීම. නිදසුන් :- ලංකාවේ අප ස්වාමි දූ සදාසරණ මෑණියන්, මාතර අප ස්වාමි දූ, මරුද මඩු මෑණියන්.

ශුද්ධවන්තයන් අතර උසස් ම ගෞරවය හිමි වන්නේ මරිය තුමියට ය. එහෙයින් අප හදෙහි ඇති ගෞරවාදරය එතුමියට නිසි ලෙස පුද කරන්නට හැකි සැම විට ම උත්සාහ ගනිමු.