20 - යාච්ඤා කළ යුතු අවස්ථා

අන්තිම රාත්‍රි භෝජනයෙන් පසු ජේසුස් වහන්සේ තම අපෝස්තුලූවරුන් සමග සිරිත් පරිදි ඔලීව කන්දට වැඩිය සේක. උදාවන ඊළඟ මොහොතේ දී තමන් හා දුක සැප බෙදාගත් ජුදස් විසින් නායක පූජකයන් අතට තමන් පාවා දෙනු ලබන බවත් ඉන් අනතුරුව විඳින්නට සිදුවන වේදනා සියල්ලත් ඔවුන් වහන්සේ දැන සිටි සේක. දැඩි සිත් වේදනාවෙන් කැළඹීමට පත් වූ ජේසුස් වහන්සේ දණින් වැටී යාච්ඤා කරමින් පියාණන් වහන්සේට මෙසේ පැවසූ සේක.

යාච්ඤාව ජේසුස් වහන්සේගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් විය. දුක වේදනාව, තනිකම දැනුන විට මෙන් ම පිළිතුරු සොයා ගත නොහැකි ප්‍රශ්න හමුවේ ද ජේසුස් වහන්සේ පිළිතුරු සෙව්වේ යාච්ඤාව තුළිනි. එමඟින් පියාණන් වහන්සේ හා පුත්‍රයාණන් වහන්සේ අතර දැඩි සබඳතාවක් ගොඩනැගුණි. පියාණන් වහන්සේ තමන් වෙත පවරනු ලැබූ කාර්යයන් පවා ඒ අයුරින් ම ඉටු කිරීමට ජේසුස් වහන්සේට හැකි වූයේ ද නිරන්තර යාච්ඤාව හේතු කොට ගෙන ය.

ජේසුස් වහන්සේ යාච්ඤා කළ අවස්ථා කිහිපයක්

යාච්ඤා ජීවිතයේ වටිනාකම පිළිබඳ ව ජේසුස් වහන්සේ දුන් අනගි ආදර්ශය කිතුනුවන් වන අප ද ක්‍රියාවට නැංවිය යුතු ය. ඒ තුළින් දේව කැමැත්ත හඳුනා ගැනීමට අපට පුළුවන. එමෙන් ම අපගේ අවශ්‍යතා දේව ආශිර්වාදය සමඟින් ඉටුකර ගැනීමට ද හැකි වේ.

මිනිස් අපගේ ජීවිතය රඳා පවතින්නේ ආශ්වාස, ප්‍රාශ්වාස ක්‍රියාවලිය මත ය. යම් අවස්ථාවක එම ක්‍රියාව කිරීමට අපට අපහසු වුවහොත් ජීවිතයෙන් සමුගැනීමට ද අපට සිදු වේ. එලෙස ම කිතුනු අපට යාච්ඤාවේ ජීවිතය අතිශයින් ම අවශ්‍ය ය. අපි යාච්ඤාවෙන් බැහැර වන විට පියාණන් වහන්සේගෙන් ද ඈත් වෙමු. එවිට අපගේ ආධ්‍යාත්මික ජීවිතය දුර්වල වී අප සතු කිතුනු වටිනාකම් ද පහ ව යන්නේ ය. එහෙයින් "යාච්ඤාව" අපගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් කරගනිමින් දිනපතා ම යාච්ඤා කළ යුතු ය.

දිනපතා යාච්ඤාවේ දී;

  1. අපගේ අවශ්‍යතා මත අප විසින් නිර්මාණය කළ යාච්ඤා ද
  2. විවිධ අවස්ථාවන්හි යැදීමට ශු. සභාව විසින් හඳුන්වා දී ඇති යාච්ඤා ද භාවිත කළ හැකි ය.

නිතර භාවිත වන (පොදු) යැදුම් කිහිපයක්

උදෑසන අවදි වූ විට කීමට;

උදය ආරාධනාව

සියලූ දේ මවා පාලනය කරන දෙවියනි, ඔබගේ කරුණා අදහසින් මා ලැබූ උපකාර රාශිය උදෙසා ද විශේෂයෙන් පසුගිය රාත්‍රියේ මා නසින්නට ඉඩ නොදී ආරක්ෂා කළ නිසා ද අනේක වරක් ඔබට ස්තූති කරමි. ඔබගේ අණ පනත් ශේෂයක්වත් නොවරදවා මේ දවස ගත කරන ලෙස පොරොන්දු වී මාගේ කල්පනා, වචන හා ක්‍රියා සියල්ල ම ඔබට ස්තෝත්‍ර කොට පුදමි. එසේ හෙයින් මාගේ ගතට හා ප්‍රාණයට යම් විපතක් නොයෙදී ඔබගේ කැමැත්ත පරිදි ධර්මයෙන් පැවත මා මෝක්ෂ සුගතියට සුදුස්සකු වන පිණිස කරුණාකර වදාළ මැනව. ආමෙන්.

මෙම යාච්ඤාව තුළින්

  • පෙර දින රාත්‍රියේ සියලූ නපුරෙන් තම ජීවිතය සුරැකීම පිළිබඳ ව දෙවි පියාණන් වහන්සේට තුති පුදනු ලැබේ.
  • උදා වූ අලූත් දිනයේ දී දේව පනත් අනුව ජීවත් වෙමින්, සිතින් වචනයෙන් හා ක්‍රියාවෙන් යහපත් දේ පමණක් සිදු කරන බවට දෙවි පියාණන් වහන්සේට පොරොන්දු වේ.
  • නව දිනය ආරම්භ වූ මොහොතේ පටන් අවසන් වන මොහොත දක්වා තම ජීවිතය ආරක්ෂා කර දෙන මෙන් දෙවි පියාණන්ගෙන් ඉල්ලා සිටිනු ඇත.

 

පාසලට හෝ ගමනක් යාමට පෙර කීමට;

රැකවල් දේව දූතයාට යාච්ඤාව

මාගේ රැකවල් දේව දූතයෙනි, ඔබ බාරේ ඉන්නා වූ මට, අද දින (රෑ) ඔබගේ පරම දයාබරකමින් ඥාන එළිය දී මා ආරක්ෂා කර නඩත්තු කර ආණ්ඩු කරනවා සොඳේ. ආමෙන්.

මෙම යාච්ඤාව තුළින්

රැකවල් දේව දූතයාගේ ආරක්ෂාවට බාර වූ මොහොතේ පටන් සියලූ නපුරෙන් මෙන් ම අනතුරුවලින් තම ජීවිතය රැකදෙන ලෙස ඉල්ලා සිටියි.

 

ආහාර අනුභවයට පෙර හා පසු ව කීමට;

භෝජන ආශිර්වාදය

ස්වාමීනි, මටත් මේ භෝජනයටත් ආශිර්වාද ලැබේවා. මෙවන් භෝජන මා ආක්‍රමයෙන් අනුභව නොකොට එයින් ඔබට ස්තෝත්‍ර වෙන පිණිස වරම් සලස්වනවා සොඳේ. (ස්වර්ගයේ වැඩසිටින යාච්ඤාව උච්චාරණය කරන්න)

භෝජන ස්තෝත්‍රය

ස්වාමීනි, ඔබගේ උදාර හස්තයෙන් ලැබුණ මේ උපස්ථානය හා නොයෙක් උපකාර රාශියත් උදෙසා, ඔබට ස්තෝත්‍ර කියමි. අපට ආධාර වූවන්ට ඔබ ආධාර ව සියලූ ජීවතුන්ට දිවි රැක්ම දී මළවුන්ටත් සැනසීම දුන මැනව. ("නමෝ මරිය" උච්චාරණය කරන්න)

මෙම යාච්ඤා දෙක තුළින්

  • දෙවි පියාණන් වහන්සේගේ කරුණාව මත ලැබුණා වූ ආහාරය වෙනුවෙන් ඔවුන් වහන්සේට තුති පුදයි.
  • භෝජනය සඳහා සැකසුණු ආහාරයත් එය ආහාරයට ගන්නා වූ තමන් වත් ආශිර්වාද කරන ලෙස දෙවි පියාණන් වහන්සේගෙන් අයැද සිටියි.
  • ආහාර වේල සඳහා වෙහෙසුන අයගේ ජීවිත ආශිර්වාද කර සුරකින ලෙසත්
  • ජීවතුන් ආරක්ෂා කරන ලෙසත්
  • මළවුන්ට සදා සැනසුම ලබා දෙන ලෙසත් දෙවි පියාණන් ගෙන් අයැද සිටියි.

 

විශේෂ කාර්යයක් කිරීමට හෝ පාඩම් කිරීමට පෙර;

ස්ප්‍රීතු සාන්තු වහන්සේට යාච්ඤාව

ප්‍ර. ස්ප්‍රීතු සාන්තු දෙවියනි, වැඩමකර ඔබගේ විශ්වාසීන්ගේ හෘදයන් පිරෙව්ව මැනව.

උ. ඔබගේ ප්‍රේමයේ ගින්න ඔවුන් තුළ දැල්වුව මැනව.

ප්‍ර. ඔබගේ ස්ප්‍රීතුව යැව්ව මැනව. එවිට ඔව්හු මවනු ලබන්නෝ ය.

උ. තව ද ඔබ පෘථීවියේ විශාලකම අලූත් කර වදාරන සේක.

යාච්ඤා කරම්හ

ස්ප්‍රීතු සාන්තු ආලෝකයෙන් විශ්වාසීන්ගේ හෘදයන් පැහැදෙව්වා වූ දෙවියනි එම ස්ප්‍රීතුවෙන් සියල්ල ගැන හරි තේරුම් ගැනීම ලබන්නටත් එම ශුද්ධ වූ සැනසිල්ලෙන් නිතර ප්‍රීති සන්තෝෂ වෙන්නටත් අපට සලස්වා වදාළ මැනව. මේ කී දේ අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තු තුමන් උදෙසා ම ලැබේවා! ආමෙන්.

මෙම යාච්ඤාව තුළින්

  • ශුද්ධාත්මයාණන් වහන්සේ පිළිබඳ විශ්වාසයෙන් පසුවන්නන් ඔවුන් වහන්සේගෙන් පූර්ණ කරන ලෙස යාච්ඤා කරයි.
  • නිවැරදි ලෙස සියල්ල තේරුම් ගැනීමට ශක්තිය අයදියි.
  • සුදතුම් වරමින් අප ව පෝෂණය කර ප්‍රීතිමත් දිවියකට උරුමකම් කියන්නන් බවට අප ව පත් කරනා ලෙස අයැද සිටියි.

 

රාත්‍රී නිදා ගැනීමට පෙර;

රාත්‍රි ආරාධනාව

මනුෂ්‍යයින් නිදහස් කොට ගැලෙව්වා වූ ජේසුස් ස්වාමි දරුවෙනි, අද දවසේ මා විසින් කළ සියලූ වැරදි ක්ෂමා කරවා මේ රාත්‍රියේ සදි මරණයෙන් මා නොනැසී නපුරු ස්වප්න ආදි වූ යක්ෂ පරීක්ෂාවලට මා අසුනොවී, මාගේ ගතට හා ප්‍රාණයට කිසි අපහසුවක් නැති ව නැගී සිට, ඔබට ස්ත්‍රෝත්‍ර කියන සැටියට කරුණාකර වදාළ මැනව. ආමෙන්.

මෙම යාච්ඤාව තුළින්

  • දවස ආරම්භයේ සිට අවසානය දක්වා තමන් අතින් සිදු වූ වැරදිවලට ජේසුස් වහන්සේගෙන් සමාව අයැද සිටියි.
  • රාත්‍රියේ දී මරණයෙන්, නපුරු සිහින හා යක්ෂ පරික්ෂාවෙන් ආරක්ෂා කර දෙන මෙන් ජේසුස් වහන්සේගෙන් ඉල්ලා සිටියි.
  • සුවබර නින්දකින් පසු අවදි ව ජේසුස් වහන්සේට ස්තුති කිරිමේ හැකියාව දෙන ලෙස ඉල්ලා සිටියි.

යාච්ඤාවේ දී මෙවන් පොදු යැදුම් භාවිත කරන්නේ නම්, ඒවා නිවැරදි ව කටපාඩම් කර විශ්වාසයෙන් යුතු ව උච්චාරණය කිරීමට අනිවාර්යෙන් ම යොමු විය යුතු ය.